ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය ගුරු සංගම් දැඩි සේ හෙළාදකියි

ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය ගුරු සංගම් දැඩි සේ හෙළාදකියි
පාසල් ඉගැන්විම් ක්‍රියාවලියට සම්බන්ධ නොවන ගුරුවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ගුරු සංගම් විරෝධය පළ කරයි.
 
ඒ සම්බන්ධයෙන්  ඊයේ (20) පැවැති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළවිය. 
 
ලංකා ගුරු සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් සභාපති සරත් ප්‍රේමසිරි මහතා අදාළ ප්‍රකාශය පිළිබඳ මෙලෙස ප්‍රතිචාර දැක්විය.
 
"තමන්ගේ දේශපාලනය පැත්තකට දාලා මේ මොහොතේ ගුරුවරුන්ගේ සැබෑ ප්‍රශ්නය සඳහා සාධාරණ විසඳුමක් ලබාදිය යුතුයි. එහෙම නැතුව ගුරුවරුන් ට තර්ජනය කරලා, විදුහල්පතිවරුන් ට තර්ජනය කරලා, සුදානම් වෙනවා නම් මේ මර්දනය තුළින් ජයගන්න ඒක වයඹ අධ්‍යාපනයේ අවසානය වෙන්න පුළුවන්. ආණ්ඩුකාරවරයාට පුළුවන් නම් අපි අභියෝග කරනවා කිසියම් ගුරුවරයෙකුගේ වැටුප නවත්වන්න, කිිසියම් ගුරුවරයෙකු ට විදුහල්පතිවරයෙකු ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න අපි නීත්‍යානූකූල වර්ජනයක් කරන්නේ. කවුරු මොනවා කිව්වත් 21 වර්ජනයේ නිරත වෙනවා. 22 අපි ඉස්කෝලේ යන්නේ නෑ. 25 අපි ඉස්කෝලේ යනවා. පුළුවන් නම් ගුරුවරු නවත්වන්න. පුළුවන් නම් ගුරුවරු - විදුහල්පතිවරු නවත්වන්න. අපි අභියෝග කරනවා. රාජා කොල්ලුරේ ට නෙමෙයි ඕන කෙනෙක් ට මේ සටන නවත්තන්න පුළුවන් නම්. මෙය නැවත්විය හැකි වන්නේ සාධාරණ විසඳුමක් ලබාදීමෙන් පමණයි."
 
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ද ඊයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ, කිසිදු අවස්ථාවක වැටුප් කප්පාදුවක් සිදුකිරීමට අවස්ථාව ලබානොදෙන බවයි..
 
මේ අතර ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන පාරිපාලන සේවා සංගමයේ ලේකම් බුද්ධික බණ්ඩාර මහතා පැවසුවේ, සිය සංගමයේ සියලු ගුරු විදුහල්පතිවරුන් හෙට දින සිට පාසල් වෙත වාර්තා කිරීමට නියමිත බවයි.
 
අද (21) දිනයේ සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, සේවයට වාර්තා නොකරන වයඹ පළාත් ගුරු විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප කප්පාදු කරන බවට පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පසුගිය (19) ප්‍රකාශයක් සිදුකර තිබුණි.
 
ඒ මෙසේය.
 
"ආණ්ඩුකාරවරයා වශයෙන් අධ්‍යාපන ඇමතිගේ බලතල ක්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙන පුද්ගලයා හැටියට මම මේ නොපැමිණෙන අයට නොවැම්බර් මාසයේ වැටුප් ලබාදීම අත්හිටුවන්නට 25 වනදාට කවුරුත් ආවොත් විනය විරෝධි ක්‍රියාකරලා. ඔවුන්ට පාසලට ඇතුළු වෙන්න ඉඩදෙන්නේ නැහැ."