නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීමට ජනතා සහය පතයි

free-health

 ක්‍රමාණුකූලව අකර්මන්‍ය කරමින් පවතින නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීම සදහාත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටළු වර්ජනයකින් තොරව විසදා ගැනීමට ජනතා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,  රටම වෙලාගත් කෝවිඩ් වසංගතයේ නිමාවක් නැත. හතරවන රැල්ලෙන් බැට කෑ ජනතාව සිය සේවාවන්ට යොමු වෙමින් සිටිති. දරුවෝ පාසල් යමින් සිටිති. සෞඛ්‍ය සේවාවේ නියැලුණු පිරිස් එදා සිට අද දක්වාම කිසිඳු විවේකයකින් තොරව දිවා රෑ සිය සේවාවන් ඉටු කරති.

එහෙත්, ජනතා බදු මුදලින් සෞඛ්‍ය සේවා සපයන ආණ්ඩුව සෞඛ්‍ය වෘත්තීයන්ගේ අඩුපාඩු සැපිරුවාද? ජනතාව වෙත මේ මොහොතේ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නිසිලෙස ලබාදෙන්නේද? ආණ්ඩුවෙන් එය ඉටු කර ගැනීමට වරින් වර බල කිරීමට සිදු වීම කණගාටුවට කරුණකි.

සෞඛ්‍ය සේවයේ පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන් 13 ක් ඒකාබද්ධව ආණ්ඩුවට බල කරන්නේ කුමක් සඳහාද?

ජනතාවගේ ඖෂධ මිල පාලනයකින් තොරව ඉහල නංවා ඇත. සැපයුම් කරුවන්ට ගෙවිය යුතු ණය නොගෙවීම හේතුවෙන් සෞඛ්‍ය සැපයුම් පද්ධතිය අඛණ්ඩව පවත්වා ගැනීම වෘත්තීයවේදීන් ලෙස අපට අභියෝගයක් වී ඇත.

ඉතා හොදින් ක්‍රියා කරන බිලියන ගණන් වටිනා යන්ත්‍ර ඉවත් කොට ගජ මිතුරු සමාගම් වල මිල අධික උපකරණ සවිකරමින් සිටී. එමගින් විශාල ලෙස ඉහල යන වැය බර හේතුවෙන් බොහෝ සේවාවන් ඉදිරියේදී නතරවන තත්වයකට පත් කර, පෞද්ගලික අංශයට මහ ජනතාව යොමු කිරීමට සැලසුම් කරමින් සිටී.

ඉහල යන ජීවන වියදම හමුවේ විවධ රෝගාබාධ සඳහා ගනු ලබන අත්‍යාවශ්‍ය ඖෂධ මිල දිනෙන් දින ඉහල යයි.

රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට බරපතල අසාධාරණයක් සිදු කරලා තියෙනවා. සෞඛ්‍ය වෘත්තීයවේදීන් උපාධි තත්වයට යෑම අවහිර කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ පරිපාලනය සම්පූර්ණයෙන්ම වෛද්‍ය වෘත්තිකයින්ගේ අනසක යටතේ පවත්වා ගන්නා නිසාය.

ජනාධිපතිවරයාගේ පෞද්ගලික දේශපාලන හිතවත් කමක් පෙන්වමින් සිටින වෛද්‍ය නිළධාරී සංගමයේ ඇතැම් පිරිසක්, සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීයවේදීන්ගේ අධ්‍යාපනය, වෘත්තීමය පිළිගැනීම, වැටුප, උසස්වීම් අවහිර කරමින් සිටී.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 මගින් ආරම්භ කරන ලද එම අසාධාරණය යම් ප්‍රමාණයකට හෝ නිවැරදි කිරීමේ අවධානයක් යොමු වූ 2018 රනුක්ගේ වැටුප් සමාලෝචන කමිටු වාර්තාව ක්‍රියාත්මක වීම අත්තනෝමතික ලෙස වැලැක්වීම සමස්ථ රජ්‍ය සේවාට සිදු කරන ලද බරපතල අසාධාරණයකි. එය රාජ්‍ය සේවාව වරින් වර වර්ජන වලට ඇද දැමීමකි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූකූල සිව් අවුරුදු වෘත්තීමය උපාධිය පවා මේ වනවිට බාල්දු කරමින් පවතී.

රට පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල ඉදිරි දෙසතිය තුල පැවැත්වෙන උද්ඝෝෂණ හා සේවයෙන් බැහැරවීම් වලට අප තල්ලු කර ඇත්තේ ආණ්ඩුවේ බලධාරීන්මය.

ජනතාවනි,

මේ සඳහා ආණ්ඩුවට බල කරමු.

මේ සටන ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට හා රටේ ජනතාවගේ හා සිසු දරුවන්ගේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීම උදෙසාය. ඒ සදහා ඔබ සැමගේ සහයෝගය අපේක්ෂා කරමු

  • ආණ්ඩුවේ බලධරයනි, සෞඛ්‍ය වෘත්තික සේවා හඬට කන්දෙනු !
  • ජනතාවට නිසි සෞඛ්‍ය පහසුකම් සපයනු !
  • වහා ඖෂධ මිල අඩු කරනු !
  • අත්‍යාවශ්‍ය ඖෂධ මිල වහා අඩු කරනු !
  • කෝවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමට පාසල් දරුවන්ට පහසුකම් ලබාදෙනු !
  • සෞඛ්‍ය වෘත්තික සේවාවන්ගේ සේවා තත්ත්වයේ හා උසස්වීම් ගැටළු වහා විසඳනු !