තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට අප්‍රසාය පළකරයි

savisthri

2021 නොවැම්බර් මස 20 වන දින ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිස්ස කුට්ටිආරච්චි විසින්, අය වැය විවාදයේ ඔහුගේ කථා වාරයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි රෝහිණී කවිරත්නට එරෙහිව සිදුකරන ලද ප‍්‍රකාශය වාචික අපයෝජනයක් ලෙස සලකන අතර, ඒ පිළිබඳව ස්ත‍්‍රී/පුරුෂ සමසාධාරණත්වය මත පදනම්ව, වැඩ කරන කාන්තා සංවිධානයක් ලෙස මෙම සිදුවීම සලකනුයේ සමස්ථ ස්ත‍්‍රී ප‍්‍රජාවටම කරන ලද අපහාසයක් බව සවිස්ත‍්‍රී ජාතික කාන්තා ව්‍යාපාරය කතානායකවරයා වෙත ලිපියක් යවමින් කියා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළ සිදුවන මෙවැනි සිදුවීම් පාර්ලිමේන්තුව තුළ සිටින සමස්ථ ජනතා නියෝජිතයන් පිළිබඳවම, මහජන ප‍්‍රතිරූපය පලූදු වීමට හේතුවේ.

කාන්තාවන්ට එරෙහි වෙනස්කම් තුරන් කිරිම වේගවත් කිරිම සඳහා සහ ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ප‍්‍රවර්ධනය කිරිම සඳහා අරමුණු කර රාජ්‍ය පාර්ශ්වය විසින් එහි ආයතනික සහ ප‍්‍රතිපත්තිමය රාමු වැඩි දියුණු කිරිම සඳහා මෙතෙක් ගනු ලැබූ උත්සාහයන්ට පටහැනි ක‍්‍රියාවක් ලෙස මෙය අපි දකිමු. එසේම ලිංගිකත්වය සහ ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා ජාතික සැලැස්මක් සහ ප‍්‍රතිපත්ති රාමුවක් සම්මත කරන ආයතනය තුළින්ම කාන්තාවන්ට එරෙහිව මෙවැනි සිදුවීම ඇතිවීම ඉතා කනගාටුදායක තත්ත්වයකි. එය කාන්තා ක‍්‍රියාකාරීන් ලෙස කිසිසේත් අප අනුමත නොකරන බව සඳහන් කරමු. එසේම,  කාන්තා සංවිධානයක් ලෙස අප එය තරයේ හෙලා දකින්නෙමු.

එබැවින් මෙම සිදුවීම සම්බන්ධව සොයා බලා ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට, අවශ්‍ය කඩිනම් අර්ථවත් පියවර ගන්නා ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.