අගමැති ප්‍රධානත්වයෙන් කම්කරු නායකයන්ට උපහාර පිදීමට සුදානමක්

අගමැති ප්‍රධානත්වයෙන් කම්කරු නායකයන්ට උපහාර පිදීමට සුදානමක්

මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ හා කම්කරු සටන් ඉතිහාසයේ දීර්ඝකාලීනව කැපවී කටයුතු කළ කම්කරු නායකයන්(10) දස දෙනකුට ජාතියේ උපහාර පිදීම ලබන (15 )පහළොස් වැනිදා අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජාතික සම්පත ලොතරැයි ශ්‍රම වාසනා අරමුදල හා කම්කරු අමාත්‍යාංශය මෙම කම්කරු නායක උපහාර උත්සවය සංවිධානය කරයි.

දෙවන වරට පැවැත්වෙන මෙම වෘත්තීය සමිති නායක උපහාර උත්සවයේ දි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලෙස්ලි දේවේන්ද්‍ර,සමස්ත ලංකා එක්සත් මෝටර් කම්කරු සංගමයේ දයාරත්න මුනිදාස ප්‍රනාන්දු,ඒකාබද්ධ වැවිලි වෙළෙඳ සංගමයේ සුප්පයියා සුබ්‍රමනියම් රාමනාදන්,සමස්ත ලංකා වෙළඳ හා කර්මාන්ත කම්කරු සංගමයේ එච්.ඒ.මුනිදාස,ලංකා වතු සේවක සංගමයේ පද්මසිරි අමරසිංහ,කෘෂිකාර්මික සහ වතු කම්කරු සංගමයේ රෙංගප්පා මරුදමුත්තු ක්‍රිෂ්ණසාමි,ලංකා කම්කරු කොංග්‍රසයේ අාර්.පලනිමුත්තු,එක්සත් වැවිලි සේවක සංගමයේ ආරුමුගම් මුත්තුසාමි,ලංකා කම්කරු සම්මේලනයේ ටී.එම්.රහීම් රෂීඩින් සහ නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සංගමයේ ඇන්ටන් මාකස් යන කම්කරු හා වෘත්තීය සමිති නායකයන්ට ජාතියේ උපහාර පිරිනැමේ.

මීට අතිරේකව හිටපු කම්කරු කොමසාරිස් ජෙනරාල් වරුන් වූ මහින්ද මඩිහේවා සහ ජී. වීරකෝන් යන මහත්වරු මෙහි දී විශේෂ ඇගැයීම් සම්මානයෙන් පිදුම් ලබති.

උපහාර ලබන මෙම කම්කරු නායකයන්ට මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක (150,000) මූල්‍ය ප්‍රදානයක් සමගින් මෙම උපහාර තිළිණ ප්‍රදානය සිදු කෙරෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මෙම කම්කරු උපහාර ප්‍රදානයට හිටපු කම්කරු අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ ඇතුළු මැති ඇමතිවරු රාශියක් සහභාගි වෙති.