ඇඟලුම් සේවිකාවන් භූමිතෙල් හා ගෑස් නැතිව දැඩි ලෙස පීඩාවකට ලක්වෙලා

ඇඟලුම් සේවිකාවන් භූමිතෙල් හා ගෑස් නැතිව දැඩි ලෙස පීඩාවකට ලක්වෙලා

නිදහස් වෙළඳ කලාප ඇතුළු ඇඟළුම් ක්ෂේත‍්‍රයේ සේවක සේවිකාවන්ට ගෑස් සහ භූමිතෙල් හිඟය නිසා දැඩි ලෙස පීඩාවටත්, දැඩි අසහනකාරි තත්ත්වයකටත් පත්ව ඇති නිසා ඉරිදා දිනයන්හි ගෑස් හා භූමිතෙල් ලබාගැනිමට වැඩපිළිවෙලක් දකස් කරන ලෙස් ඉල්ලා සිටිමින් මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙත ලිපයක් යවමින් කටුනායක රෙඩ් සංවිධානය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ මොහොතේ මුළු රටම ගෑස් සහ භූමිතෙල් අර්බුධයකට මුහුණ දී සිටින අතර, එයින් බරපතල ලෙසම බැටකන්නේ කාන්තා පාර්ශවයය. ඒ අතුරිනුත් වැඩකරන ක්ෂේත‍්‍රයේ කාන්තාවන්, විශේෂයෙන්ම නිදහස් වෙළඳ කලාප ඇතුළු ඇඟළුම් ක්ෂේත‍්‍රයේ වැඩකරන කාන්තාවන් ගෑස් සහ භූමිතෙල් අර්බුදය හමුවේ බරපතල ලෙස පීඩාවට පත්ව සිටී.

ඉතාමත් අඩු වැටුපකට සේවය කරන එසේම කුඩා නේවාසික කාමරයක ජීවිතය ගෙවන නිදහස් වෙළඳ කලාප ඇතුළු ඇඟළුම් ක්ෂේත‍්‍රයේ සේවක සේවිකාවන්, මේ තත්ත්වය තුළ අද වන විට ජීවත් වන්නේ දවසේ වැඩි වේල් ගනනක් නිරාහාරව සිටිමනි. එම ප‍්‍රදේශ වල ආහාර පාන අලෙවි කරන වෙළඳසැල් බොහෝමයක්ම මේ වන විට ගෑස් සහ භූමිතෙල් හිගය හේතුවෙන් වසා දමා ඇති අතර, කෑම පැකැට්ටුවක් සොයා ගැනීමද අද ඉතා අසීරු කාර්යයක් වී තිබේ. ඉඳහිට තැනකින් සොයා ගත්තද කැම පැකැට්ටුවක මිල රුපියල් 250 ඉක්මවා ගොස් ඇති බැවින්, කෑම පැකැට්ටුවක් දිනපතා ලබාගැනීම නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ට කල නොහැක්කකි.

මෙවැනි තත්වයක් මත මෙම සේවක සේවිකාවන් බොහෝ දෙනෙක් බිස්කට් පැකැට්ටුවකින්, සමපෝෂ ගුලියකින් දවස පිරිමසා ගන්නා අතර, දරුවන් සිටින සේවක සේවිකාවන් දරුවන්ගේ පාසැල් ගමන පවා තාවකාලිකව නවතා දමා ඇත.

මෙම සේවක සේවිකාවන්ට ඔවුන්ගේ සේවා තත්ත්වයන් අනුව ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම් වල සිටින්නට හෝ තුණ්ඩු ලබා ගැනීම සඳහා යාමට කාල වේලාවක් නොමැත. ඔවුන් උදේ පාන්දර සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව නැවත නේවාසිකාගාරයට පැමිණෙන්නේ රාත‍්‍රී කාලයේය. එවැනි වාතාවරණයක් තුළ ගෑස් සොයා ගැනීම හෝ භූමිතෙල් සොයා ගැනීම ඔවුනට ඉමහත් අසීරු කාර්යකි.

මෙවන් කරුණු රාශියක් හේතුවෙන් මෙය රටේ පොදු තත්ත්වයක් වුවද ඇඟළුම් සේවකයින් එහි ද සුවිශේෂී අර්බුධයකට මුහුණදී සිටින තත්ත්වයක් පවතී.

ගෑස් සහ භූමිතෙල් හිඟය නිසා පීඩා විඳින නිදහස් වෙළඳ කලාප ඇතුළු ඇඟළුම් ක්ෂේත‍්‍රයේ සේවක සේවිකාවන්ට සහන දායි වැඩ පිළිවෙලක් සඳහා, ගෑස් සමාගම් සමඟ සාකච්ඡා කර ඉරිදා දිනවල ගෑස් බෙදා හරින ක‍්‍රමයක් ඇතිකරන ලෙසටත්, දැනට ගෑස් නියෝජිකයින් සඳහා දිනකට ලබා දෙන ගෑස් සිලින්ඩර් 20 වෙනුවට ඊට වඩා වැඩි ප‍්‍රමානයක් කඩවලට ලබා දෙන්නට හෝ කටයුතු කර මෙම ඇඟළුම් ක්ෂේත‍්‍රයේ සේවක සේවිකාවන් මුහුණ දෙන තදබල පීඩනයෙන් ඔවුන් ගලවාගෙන ඔවුනට කෑම බීම සකසාගෙන නිදහසේ රැකියාව කරගත හැකි පරිසරයක් ඇතිකර දෙන්නටත් මැදිහත්ව කටයුතු කරන මෙන් කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.