බේරුම කල්අදින බේරුම්කරුවන්ට බේරුමක් නැති වෙයි

nimal-siripala-de-silva

කම්කරු අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන කම්කරු ආරවුල් බේරුම් කරණය සදහා ක්‍රියාත්මක වන කම්කරු ආරවුල් බේරුම්කරුවන්ගේ  ක්‍රියා පිළිවෙත පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය අප්‍රසාදය පළ කර සිටී.

1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත යටතේ මෙම බේරුම්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වේ.කම්කරුවන් සහ හාම්පුතුන් අතර ඇතිවන විවිධ ගැටළු සහගත තත්වයන් නිරාකරණය සඳහා මෙම බේරුම්කරණ ක්‍රියාවලිය උපයෝගී කරගනු ලබන බවත්, එහෙත් මෙම බේරුම්කරණ ක්‍රියාවලියෙන් වැඩ කරන ජනතාවට සාධාරණයක්  ඉටුවීමට නම් එම බේරුම්කරණ කටයුතු කඩිනමින් අවසන් කළ යුතුව ඇතැයි අමාත්‍යවරයා පවසයි.

එහෙත් සමහර බේරුම්කරුවන් මෙම බේරුම්කරණ ක්‍රියාවලියට අදාළ ලිපිගොනු  ගෙන ගොස් පුද්ගලිකව දීර්ඝ කාලයක් තමන්ගේ භාරය තබා ගනිමින් එම කටයුතු අවසන් නොකිරීම නිසා කම්කරු ජනතාවට විශාල අසාධාරණයක් සහ අගතියක් වී ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය දා කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකදීය.

එසේම සමහර බේරුම්කරුවන් එම බේරුම්කරණ ක්‍රියාවලිය ප්‍රමාද කරන අතර තවත් සමහර බේරුම්කරුවන් බේරුම්කරණයට අදාල අවසාන තීන්දුව ලබාදීම ප්‍රමාද කිරීම සිදුකරන බව අමාත්‍යවරයා මෙහි දි පෙන්වා දුන්නේය.   එම නිසා මෙම කම්කරු ආරවුල්වලට අදාල  බේරුම්කරණ ක්‍රියාවලිය  පිළිබඳ ලිපිගොනු දීර්ඝ කාලයක් තමන්  සන්තකයේ තබාගෙන සිටින,එකී බේරුම්කරණ ක්‍රියාවලිය  ප්‍රමාද කරන බේරුම්කරුවන්ට  එරෙහිව පොදු දේපල  පනත යටතේ  නඩු පැවරීමට හැකි වන ආකාරයට  කාර්මික ආරවුල් පනත කඩිනමින්  සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන අමාත්‍යවරයා මෙහි දී පැවසීය.