චමුදිතගේ නිවෙසට එල්ල වූ ප්‍රහාරය දිගු ලැයිස්තුවකට තවත් අංකයක් නොවිය යුතුය - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

චමුදිතගේ නිවෙසට එල්ල වූ ප්‍රහාරය දිගු ලැයිස්තුවකට තවත් අංකයක් නොවිය යුතුය - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

හිරු රූපවාහිනී නාලිකාවේ පුවත්පත් සිරස්තල සහ දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට එල්ල වූ ගල් මුල් හා අසූචි ප්‍රහාරය නිර්ලජ්ජිත එහෙත් බරපතල සිදුවීමක් ලෙස සළකා හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. මීට ඉහත අවස්ථාවකදීද මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට මරණීය තර්ජන එල්ල වූ බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම බලධාරීන්ගේ දැඩි වගකීමක් බව අවධාරණය කරයි. 

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පවසා ඇත්තේ තමන් වෙඩි ප්‍රහාර කිහිපයක හඬද ශ්‍රවනය කළ බවයි. ප්‍රහාරයට පැමිණි මැර පිරිස චමුදිතගේ නිවෙස පිහිටා ඇති නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කර බිය ගන්වා ඇත. ආයුධ සන්නද්ධව මැර ප්‍රහාරකයන් සිව් දෙනෙකු සුදු වෑන් රියකින් මෙම ප්‍රහාරය සඳහා පැමිණි බව වාර්තා වන අතර එය සිදු වන්නේ ජනාකීර්ණ ප්‍රදේශයකදී ය. මෙවැනි ප්‍රදේශයක ආවේක්ෂණ කැමරා සවි කර තිබීම සාමාන්‍ය ස්වභාවය නිසා ශ්‍රී ලංකාවේ පොලීසියට වුවමනා නම් කඩිනමින් පරීක්ෂණ සිදු කර අදාල මැරයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ හැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයයි.

ඒ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙන්නේ, දින කිහිපයකට ඉහත කලු ජනවාරිය සමරමින් තමන් ඇතුළු මාධ්‍ය ප්‍රජාව ගෙවුණු දශකවල ඝාතනය කළ හෝ වෙනත් ආකාරයකට වින්දිතයන් බවට පත් වූ මාධ්‍යවේදීන් හට යුක්තිය ඉටු කරන මෙන් ඉල්ලා සිටි බවයි. සිදුවීම් සියල්ලේම පාහේ වගකිවයුත්තන් නීති අංශවල දුර්වලතා හේතුවෙන් සහ දේශපාලන බලපෑම මත දණ්ඩ මුක්තිය ලබමින් සිටියදී චමුදිත ⁣ගේ සිදුවීමද ලැයිස්තුවට තවත් අංකයක් පමණක් වනු ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.

කළු ජනවාරිය සමරමින්, ගෙවුණු දශකවල ඝාතනයට ලක්වූ සහ ප්‍රහාරයන් ඇතුළු විවිධ ආකාරයෙන් අගතීන්ට ලක්ව වින්දිතයන් බවට පත් වූ මාධ්‍යවේදීන්හට යුක්තිය ඉටු කරන මෙන් ඉල්ලා සතියක් ගතවන්නටත් පෙර මෙවැනි සන්නද්ධ මැර තර්ජනයක් එල්ලවීම ‘ජනමාධ්‍යයට එරෙහි අදෘශ්‍යමාන බලයක් සහිත අඳුරු සෙවනැලි’ තවදුරටත් නිදහසේ සැරිසරමින් සිටින බවට පැහැදිළි සාධකයක් බැවින් නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශවල පවත්නා දුර්වලතා හේතුවෙන්  දණ්ඩ මුක්තිය හිමිව තිබෙන සිදුවීම් ලැයිස්තුවට තවත් සිදුවීමක් ලෙස මෙම සිද්ධිය එක්කරනු වෙනුවට‘දේශපාලන බලය සහිත දණ්ඩ මුක්තියට’ තිත තබමින් මෙම සිදුවීම ගැන පුළුල් විමර්ශනයක් සිදුකර එම මැරයින් කවුදැයි රටට හෙළිකරන ලෙස  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියි.