වත්මන් ව්‍යසනයෙන් මිදීමට කළ යුත්තේ කුමක්ද?යන්න සාකච්ඡා කිරීමට යුනියන් පෙළ ගැසෙයි

වත්මන් ව්‍යසනයෙන් මිදීමට කළ යුත්තේ කුමක්ද?යන්න සාකච්ඡා කිරීමට යුනියන් පෙළ ගැසෙයි

රට ඇද දමා ඇති ව්‍යසනයේ ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුව ඇත්තේ වැඩකරන ජනයාටය. ඉන් මිදීම වෙනුවෙන් පියවර ගැනීමට කාලය පැමිණ තිබෙන අතර වත්මන් ව්‍යසනයෙන් මිදීමට කළ යුත්තේ කුමක්ද?යන්න සාකච්ඡා කිරීමට හෙට (29) දිනයේ CMU ශාලාවේදී වෘත්තීය සමිති රැසක් එක්විමට නියමිතයි.ඒ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය පහතින් දැක්වෙයි. 

හිතවත් ගොවි/ධීවර/ගුරු/කම්කරු/සිවිල් සංවිධාන/වෘත්තීය සමිති ක්‍රියාධර සහෝදර/සහෝදරියනි,

 රට ඇද දමා ඇති ව්‍යසනයේ ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුව ඇත්තේ වැඩකරන ජනයාටය. ඉන් මිදීම වෙනුවෙන් පියවර ගැනීමට කාලය පැමිණ ඇත.

රටේ පාලක රැල විසින් ශ්‍රී ලංකාව ඇදගෙන ගොස් හෙළා ඇති ආර්ථික අර්බුදය මේ වනවිට ජනතාවට ව්‍යසනයක් වී අවසන්ය.

අර්බුදය ඇති කරනු ලැබුවේ පාලක නඩය වුවද මෙම අර්බුදයේ දුර්විපාකයන් සියල්ල භුක්ති විඳීමට සිදුව ඇත්තේ කම්කරුවන්, ගොවියන්, ධීවරයන් ඇතුළු සමස්ත වැඩකරන ජනයාටය. පෙබරවාරි මාසය වනවිට රටේ උද්ධමනය 16.8% ද ඉක්මවා ගොස්ය. වැඩකරන ජනයාට මේ වන විට සිදුව ඇත්තේ ගෑස්, කිරිපිටි, ඉන්ධන ආදී පෝලිම්වල දවස ගත කිරීමටය. අද වනවිට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය කඩදාසි පවා නැතිවීම තුළ අර්බුදය ඔඩුදුවා ඇති තරම පැහැදිලිය.

බඩු මිල අහස උසට ඉහළ ගියද, ජනයාගේ ආදායම් පහළ ගොස් ඇත. වසංගතය මුවාවෙන් වැඩ කරන අති බහුතරයකගේ වැටුප් කප්පාදු කිරීමට ඉඩ දී ආණ්ඩුව නිහඩව බලා සිටියේය. UNICEF අධ්‍යයනයකට අනුව මෙම කාලය තුළ සාමාන්‍ය වශයෙන් නාගරික නිවසක ආදායම 37%කින්ද, ග්‍රාමීය නිවසක ආදායම 30%කින්ද, වතුකරයේ නිවසක ආදායම 23%කින්ද පහත වැටී ඇත.

රට ඇද දමා ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා දීමට පාලකයින්ට හෝ විරුද්ධ පක්ෂයට කිසිඳු හැකියාවක් නැති බව ඔවුන් විසින් නැවත නැවතත් පෙන්වා ඇත. අර්බුදයෙන් ගැලවීම වෙනුවෙන් කියමින් ඔවුන් මේ වනවිට මහජනතාවට ඉතිරි වී ඇති සම්පත් ස්වල්පයද දේශීය හා විදේශීය ජාවාරම් කාරයන්ට පවරා දීම නිසා දිගු කාලීනව රට තවත් අගාධයට තල්ලු වීම පමණක් සිදු වේ,

මෙවන් පසුබිමක වුවද පාලකයින්ගේ වංචා, දූෂණ හා නාස්තිය කිසිඳු අඩුවකින් තොරව සිදු වෙමින් පවතී. ජනයාගේ අධ්‍යාපන, සෞඛ්‍ය හා ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට මුදල් නැති බව කියන ආණ්ඩුව ඇමතිවරුන්ට හා මන්ත්‍රීන්ට සැප වාහන ගෙන්වීම වෙනුවෙන් මෙම ආණ්ඩුව රු. බිලියන 3.7ක් පමණ වියදම් කර ඇත. සතොස සුදු ළූණු වංචාව, සීනි බදු වංචාව, ඇන්ටිජන් මගඩිය ආදී වශයෙන් පසුගිය වසර දෙක තුළ සිදුවූ දූෂණ හා වංචා ලැයිස්තුවෙන් කිහිපයකි.

වෘත්තීය සමිිති, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන ක්‍රියාකාරීන් ලෙස අපට මෙම තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් වහාම මැදිහත් විය යුතුව ඇත. ඒ වෙනුවෙන් බහුතර ජනතාව ඇද දමා ව්‍යසනයට එරෙහිව වහා නැඟී සිටිය යුතුය. ඒ වෙනුවෙන් මෙම ව්‍යසනය ඇති වීමට හේතු වූ කරුණු පිළිබඳ අවබෝධයක් අප ඇති කර යුතුය. අද අප මුහුණ දෙන ව්‍යසනයට හේතු වූ කරුණු අතර ප්‍රධානම ඒවා ලෙස අප සළකන්නේ

1.     පසුගිය දශක 4කට අධික කාලයක් පුරා රටේ පාලකයන් විසින් ගෙන ගිය නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය.

2.    අධිරාජ්‍යවාදී ඒජන්තයින් හා ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ගේ ක්‍රියාකාරීත්වය

3.    රටේ පැවති මහජන සම්පත් දේශීය හා විදේශීය ජාවාරම්කරුවන්ට පවරා දීම

4.    වැඩකරන ජනතාව බෙදා දමමින් පාලකයින් බලය ලබා ගැනීම හා පවත්වා ගැනීම වෙනුවෙන් ගෙන ගිය ජාතිවාදී වැඩ පිළිවෙල

5.    රටේ පරිසරය ආරක්ෂා කර ගනිමින්, දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම් අවම කර ගනිමින්. රටේ සම්පත් අනාගත පරම්පරාවන්ටද භාවිතා කිරීමට හැකි අන්දමේ සංවර්ධන ප්‍රතිපත්තියක් හෝ වැඩ පිළිවෙලක් නොමැති වීම

යන ඒවාය. මෙම හේතු ඉවත් කර ගනිමින් ඒ සමඟම මේ වනවිට රට තුළ පිළිලයක් බවට පත්ව ඇති දූෂණ වංචා, අක්‍රමිකතා හා නාස්තිය පිටු දකිමින් වැඩ කරන ජනයාට ප්‍රජාතාන්ත්‍රීයව ක්‍රියාකාරී ලෙස රටේ පාලනයට මැදිහත් විය හැකි යන්ත්‍රණයක් ගොඩනඟා ගැනීමට කාලය පැමිණ ඇත.

මේ සඳහා වන කථිකාවතක් සඳහා ගොවි/ධීවර/ගුරු/කම්කරු/සිවිල් සංවිධාන/වෘත්තීය සමිති ක්‍රියාධර ඔබට මෙම මස 29 දින උදේ 10 ට CMU ශාලාවට පැමිණ එක්වන මෙන් සහෝදරත්වයෙන් ලෙස ආරාධනා කරමු.

සංවිධායකයින් වෙනුවෙන්

ජෝසප් ස්ටාලින්