පාරට බහින ජනතාවට එල්ල කළ ප්‍රහාරය අවසන් ප්‍රහාරය විය යුතුයි

පාරට බහින ජනතාවට එල්ල කළ ප්‍රහාරය අවසන් ප්‍රහාරය විය යුතුයි

මහජන පීඩනය දරා ගැනීමට නොහැකිව පාරට බහින ජනතාවට එරෙහිව එල්ල කළ අවසන් හා එකම ප්‍රහාරය මෙය විය යුතු බවත්, තවදුරටත් නිරායුධ ජනතාව උණ්ඩයෙන් මර්දනය කිරීමට රාජපක්ෂ පාලනය උත්සහ කරන්නේ නම් ආණ්ඩුව පලවා හරින තෙක් සමස්ත රාජ්‍ය සේවකයින් පෙලගස්වා සටන් කරන බව ද අවධාරණය කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජන පීඩක ආණ්ඩුවට එරෙහිව පාරට බැස විරෝධය දැක්වූ නිරායුධ ජනතාවට උණ්ඩයෙන් පිළිතුරු දුන් ආණ්ඩුවේ තිරශ්චීන පිළිවෙත හෙලා දකිමු.

සාමකාමී නිරායුධ ජනතාව විසින් රඹුක්කන නගරයේ දී සිදු කළ විරෝධතාවය මර්දනය සඳහා පොලිසියට ජීව උණ්ඩ භාවිත කිරීමට අණදුන් ආණ්ඩුවටත්, පොලිස් ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ක්‍රියාකලාපයටත් අපගේ දැවැන්ත විරෝධතාවය පල කර සිටිමු.

මේ වනවිට ජීවිත බිලිගනිමින් තවත් ජීවිත දැඩි අවධානමට ලක් කරමින් තවත් පිරිසකට වෙඩි තබා තුවාල කරමින් සිදු කර ඇති තිරශ්චීන ක්‍රියාවලිය හෙලා දකින අතර සාමකාමී මහජන විරෝධතාවයක් පාලනය කිරීම සඳහා ජීව උණ්ඩ භාවිතා කරමින් සිදු කළ ප්‍රහාරයට අණදුන් හා සම්බන්ධ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වහාම පියවර ගන්නා ලෙස ද අපි වත්මන් පාලකයින්ගෙන් ඉල්ලා සිටිමු.

මුළු මහත් ජනතාව ජීවත්වීමට නොහැකි දැඩි පීඩනයකට පත්ව ඇති මොහොතක 2022.04.19 දින මධ්‍යම රාත්‍රියේ සියලු ඉන්ධන මිල ඉහළ දමන ලදි. ආණ්ඩුව ගෑස්, ඉන්ධන, විදුලිය, ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇති කිරීම හා මිල ඉහළ දැමීම හේතුවෙන් ජනතාව පීඩනයකට පත්ව ඇති මොහොතක ගහෙන් වැටුණු මිනිසුන්ට ගොනා අනිනවා සේ දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින අතර එම තත්වය නිවැරදි කිරීම සඳහා ආණ්ඩුව ජනතාවගේ හඬට ඇහුම්කන් දී ජන මතයට ගරු කරමින් විසඳුම් ලබා දිය යුතු බව අපි අවධාරණය කරමු.

ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමීව විරෝධතාවයක යෙදීමට ජනතාවට ඇති අයිතිය ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවිරෝධීව උදුරා ගැනීමට සූදානම්වෙමින් සිටින බව අමිහිරි රඹුක්කන සිදුවීම තුළින් ගම්‍ය වේ.

වතුර ඉල්ලා පාරට බැස්ස ජනතාවට රතුපස්වල දී වෙඩි තබා ඝාතනය කළ සිදුවීමත්, ඉන්ධන මිල අඩුකරන ලෙස ඉල්ලා පාරට බැස්ස රඹුක්කන ජනතාවටත් වෙඩි තබා පුද්ගල ඝාතන සිදු කිරීමත් රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ජන පීඩක පාලනය මනාව තහවුරු කරන්නකි.

මහජන පීඩනය දරා ගැනීමට නොහැකිව පාරට බහින ජනතාවට එරෙහිව එල්ල කළ අවසන් හා එකම ප්‍රහාරය මෙය විය යුතු බවත්, තවදුරටත් නිරායුධ ජනතාව උණ්ඩයෙන් මර්දනය කිරීමට රාජපක්ෂ පාලනය උත්සහ කරන්නේ නම් ආණ්ඩුව පලවා හරින තෙක් සමස්ත රාජ්‍ය සේවකයින් පෙලගස්වා සටන් කරන බව ද අවධාරණය කරමු.

රාජපක්ෂ පාලනයේ ජන පීඩක ක්‍රියාවලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට කැමති සියලු ජනතාව මේ මර්දනයට එරෙහිව පෙල ගැසෙන ලෙසත් ඉල්ලා සිටිමු.