සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීනියට බරපතල චෝදනාවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීනියට බරපතල චෝදනාවක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් වැටුප් කප්පාදුවට එරෙහිව ආරම්භ කිරීමට නියමිතව තිබූ දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගය සතියකට අත්හිටුවීමට තීරණය කළ අතර මෙම නීති විරෝධී වැටුප් කප්පාදුව සිදු කිරීමට මූලික වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනියට එරෙහිව වහාම නීතිමය පියවර ගැනීමට ද ඒකමතිකව තීරණය කරන ලද බව එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉතිහාසය පුරාම ඕනෑම අර්බුදකාරී අවස්ථාවක දී හෝ ජාතික ආපදාවකදී අසීමාන්තික කැපකිරීම් සිදුකරමින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය රැක ගැනීමේ අරමුණින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සමානාත්මතාවයෙන් යුතුව සැපයීම සඳහා ශ්‍රී ලාංකීය සෞඛ්‍ය කාර්යය මණ්ඩලය අනුපමේය මෙහෙයක් සිදු කර ඇත. මේ මොහොතේදීත් ශ්‍රී ලංකාව තුල පවතින ආර්ථික අර්බුදයට සහ ජීවන අරගලයට මුහුණ දෙමින්, පවතින ඖෂධ හිඟය කළමනාකරණය කරගනිමින් පුරවැසියන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව සැපයීමට මෙරට සෞඛ්‍ය සේවකයින් සමත්ව ඇත.

තත්ත්වය එසේ තිබියදී සමස්ත සෞඛ්‍ය සේවාව අඩපණ කරමින් ඉතාම අසාධාරණ ලෙස සියලු සෞඛ්‍ය සේවකයින්ගේ දැවැන්ත වැටුප් කප්පාදුවක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනියගේ මූලිකත්වයෙන් පසුගියදා කටයුතු කරන ලදී. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛනයක් වැරදි ලෙස අර්ථකථනය කරමින්, සෞඛ්‍ය අමාත්‍යවරයෙකු පවා නොමැති අවස්ථාවකදී සිදුකරන ලද මෙම අත්තනෝමතික ක්‍රියාව නිසා සමස්ත සෞඛ්‍ය සේවාවම අඩපණ වීමේ අවදානමක් මතුවිය.

එහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව වැටුප් කප්පාදුව ආපසු හරවමින්, කප්පාදු කරන ලද වැටුප් නැවත වහාම ලබාදීමටත්, ඉදිරියේදිත් සෞඛ්‍ය සේවාවේ වැටුප් හෝ ප්‍රතිපාදන කප්පාදුවක් සිදු නොවන බවට තහවුරු කිරීමටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හැකිවිය.

මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේදී කිසිදු හේතුවක් මත සෞඛ්‍ය සේවාවේ ප්‍රතිපාදන කප්පාදු නොකරන බවත්, සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු නොකරන බවත්, ඖෂධ හිඟය මග හැරවීම සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන මේ වන විටත් සම්පාදනය කර ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පැහැදිලි කරන ලදී. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනියගේ නීති විරෝධී සහ දෝෂ සහගත ක්‍රියාවලිය ආපසු හරවා, වහාම එම වැටුප් නැවත ගෙවීමට අවශ්‍ය මුදල් ලබාදීමට කටයුතු කිරීමට එකඟ විය.

විදේශ විනිමය උත්පාදනයෙහිලා දැනුම කේන්ද්‍රීය ආර්ථිකය තුළ වෛද්‍යවරුන්ට දායකත්වය ලබාදීමට ඇති හැකියාවත්, ඒ සඳහා ඇති යෝජනාත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ඉදිරිපත් කරන ලද අතර, උද්ගත වු ගැටළුව විසඳීමෙහිලා එතුමාගේ සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගේ සක්‍රීය සහ ඉක්මන් මැදිහත්වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ විශේෂ අගය කිරීමට ලක් විය.

අසාධාරණ වැටුප් කප්පාදුවේ නීතිවිරෝධීභාවය සහ දෝෂ සහගත බව සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා සමග පැවති සාකච්ඡාවේදී ද යළිත් තහවුරු වූ අතර මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර වහාම එම මුදල් සතියක් ඇතුලත ආපසු ගෙවීමට කටයුතු කරන බව සනාථ කරන ලදී. එමෙන්ම ඉදිරියේදීත් සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් අසාධාරණ ලෙස කප්පාදු කිරීමක් සිදුනොවන බවත්, සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන නොඅඩුව ලබා ගනිමින් අඛණ්ඩව නිදහස් සෞඛ්‍ය සේවය පවත්වා ගැනීමට කැපවන බවත් එතුමා තහවුරු කරන ලදී.

මෙම තත්ත්වය සමාලෝචනය කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් වැටුප් කප්පාදුවට එරෙහිව ආරම්භ කිරීමට නියමිතව තිබූ දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගය සතියකට අත්හිටුවීමට තීරණය කළ අතර මෙම නීති විරෝධී වැටුප් කප්පාදුව සිදු කිරීමට මූලික වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනියට එරෙහිව වහාම නීතිමය පියවර ගැනීමට ද ඒකමතිකව තීරණය කරන ලදී.

එමෙන්ම සෞඛ්‍ය පද්ධතිය තුළ අනවශ්‍ය අර්බුද නිර්මාණය කරමින්, නිදහස් සෞඛ්‍ය සේවාව කෙරෙහි ජනතාවගේ ඇති විශ්වාසය බිඳදැමීම මගින් ආර්ථික අර්බුදයට මුවා වී කීර්තිමත් ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට යමෙක් ප්‍රයත්න දරන්නේ නම් ඊට විරුද්ධව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ද තීරණය කරන ලදී.