මුදල් නොමැති කමින් රාජ්‍ය සේවකයන්ගේ භාෂා ප්‍රවීණතා පාඨමාලා නතර කරයි

මුදල් නොමැති කමින් රාජ්‍ය සේවකයන්ගේ භාෂා ප්‍රවීණතා පාඨමාලා නතර කරයි

රාජ්‍ය නිලධාරීන්ගේ රාජ්‍ය භාෂා ප්‍රවීණතා පාඨමාලාවන් පැවැත්වීම සඳහා පවතින ප්‍රතිපාදන අවසන්වීම මත එම පාඨමාලා අලුතින් ආරම්භ කිරීම නතර කර ඇති බවට රාජ්‍ය  භාෂා කොමසාරිස් ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, භාෂා ප්‍රවීණතාවය සම්පුර්ණ කිරීම සඳහා රාජ්‍ය සේවකයන්ට ලබා දී ඇති සහන කාලය දීර්ඝ කිරීමට කටයුතු යොදන ලෙසයි.

එම නිවේචනයෙන් වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2020 අනුව 2007 වසරෙන් පසු රාජ්‍ය සේවයට පිවිසි රාජ්‍ය නිලධාරීන් 2020.10.16 දින සිට වසර 03 ක් ඇතුළත දෙවන රාජ්‍ය භාෂා ප්‍රවීණතාවයට අදාළ භාෂා පාඨමාලා සම්පූර්ණ කළ යුතුය. එසේ නොවන්නේ නම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධක හා උසස්වීම් අහිමි වේ. රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අදාළව සපුරාලිය යුතු සුදුසුකමක් වන භාෂා ප්‍රවීණතාවය සපුරාලීමට අදාළව රාජ්‍ය සේවකයන්ට නොමිලේ පැවැත්විය යුතු භාෂා පාඨමාලා රටේ පවතින ආර්ථික අර්බුදය තුළ ප්‍රතිපාදන නොමැති වීම මත රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් නතර කර ඇති තත්වය තුළ නියමිත දිනට පෙර භාෂා පාඨාමාලා සම්පූර්ණ කිරීමේ හැකියාව අහිමිව ඇත. මේ තත්වය තුළ 2007 වසරෙන් පසු රාජ්‍ය සේවයට එක් වූ ගුරුවරු විශාල පිරිසක් සහ විදුහල්පතිවරු ඇතුළු රාජ්‍ය සේවකයන්ට භාෂා ප්‍රවීණතාවය සම්පූර්ණ කිරීමේ අවස්ථාව අහිමිව ඇත.

රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය සැපිරීමෙන් තොරව වැටුප් වර්ධක හා උසස්වීම් නතර වන තත්වය තුළ පීඩාවට පත්ව ඇති රාජ්‍ය සේවකයන් තවදුරටත් පීඩාවට පත්වීම සිදුවේ. මෙම තත්වය පිළිබඳව අවධානය යොමුකර භාෂා ප්‍රවීණතාවය සම්පුර්ණ කිරීම සඳහා රාජ්‍ය සේවකයන්ට ලබා දී ඇති සහන කාලය දීර්ඝ කිරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.