ලංගමට හොර පාරෙන් සේවකයන් අරන්

ලංගමට හොර පාරෙන් සේවකයන් අරන්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට  2017 වර්ෂයේදී  නිසි අනුමැතියකින් තොරව සේවකයන්  දහස් ගණනක් බඳවාගෙන වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවී ඇත.
 
මේ අතර එම මණ්ඩලයේ ස්ථිර කාර්ය මණ්ඩලයේ  සේවකයන් 2770 ක අතිරික්තයක්  පවතින බව විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි  කෝප් කමිටුව පවසයි.
 
මේ තත්ත්වය  බරපතළ ගැටළුවක් බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කියා සිටියි.
 
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂයේ මාර්තු 17 වැනි දිනැති ලිපියෙන්  ලංකා ගමනාගමන ගමනාගමන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සඳහා අනුමත කර ඇත්තේ සේවකයන් 24,886 ක් පමණකි.
 
එහෙත් ආයතනයේ  සම්පූර්ණ කාර්ය මණ්ඩලයේ   27,656ක් දැනට සිටින බව කෝප් කමිටු වාර්තාවේ සඳහන් වෙයි.
 
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද කාර්ය මණ්ඩලයට අනුකූලව කටයුතු කිරීමට මණ්ඩලය අපොහොසත්ව ඇති බවත් බඳවා ගැනීම් සහ උසස්වීම් යෝජනා ක්‍රමයද  මේ දක්වා අනුමත කර නොමැති බවත් 
කෝප් කමිටු විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.
 
සේවකයන්ගේ අවශ්‍යතාව පරීක්ෂාකර බලා එම ගැටලුව වහාම නිවැරදි  කරන ලෙසට  කෝප් කමිටු සභාපතිවරයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.
 
මේ තොරතුරු සඳහන් වන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුවට පසුගියදා  ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේය.