කෝප් කමිටු රැස්වීම් ආවරණය කිරීමට මාධ්‍යයට ඉඩනොදීම තොරුතුරු දැනගැනීම අහිමි කිරීමක්

cope-committee

පාර්ලිමේන්තුවේ කෝප් (COPE- පොදු ව්‍යාපාර කාරක සභාව) කමිටුවේ විමර්ශන රැස්වීම් ආවරණය කිරීම සඳහා මාධ්‍යයට හිමිව තිබූ අවස්ථාව ජුනි 23 වැනිදා සිට වළක්වා තිබේ. මෙය ජනමාධ්‍ය සතුව තිබූ අයිතියක් උදුරාගැනීමක් මෙන්ම ජනතාව සතු මූලික අයිතිවාසිකමක් වන 'තොරතුරු දැනගැනීමේ අයිතිය' අහිමි කිරීමක් බවත් විනිවිධභාවය හා වගවීම යන යහපාලන මූලධර්මවලට පිටු පෑමක් බවත් අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම තීරණය වහා අත්හිටුවන ලෙස අදාළ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට වාර්තා වී ඇති අන්දමට, මෙම තීරණයට හේතු වී ඇත්තේ මේ දිනවල කෝප් කමිටුවේ  පැවැත්වෙන විමර්ශනයකදී බලවත් දේශපානඥයකු පිළිබඳව හෙළිදරව් වන තොරතුරු ජනතාවගෙන් වසන් කිරීමය.

පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් ආවරණය සඳහා ජනමාධ්‍යවලට අවස්ථාව ලබා දිය යුතු බව ජනමාධ්‍ය සමාජය දිගු කලක් තිස්සේ කරන ලද ඉල්ලීමක් වන අතර, සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කෝප් කමිටුවේ සභාපතිධුරය දැරූ සමයේ එම අවස්ථාව හිමි විය. මෙය යහපත් ආණ්ඩුකරණය දෙසට තැබූ සාධනීය ඉදිරි පියවරකි.

ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත් කිරීම සම්බන්ධයෙන් සෘජුවම වගකිවයුතු ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන්ට එරෙහි බලවත් මහජන නැගිටීමක් සිදුව තිබෙන අවස්ථාවක, එම මහජන නැගිටීමේ ප්‍රතිඵලයක් ලෙස බලයට පැමිණි අගමැතිවරයකු යටතේ මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි තත්ත්වයකි.

එබැවින් මෙම තීරණය පරාජය කිරීම සඳහා හඬ නගන ලෙස සියලු පුරවැසියන්ගෙන්ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.