රට ස්ථාවර කරන්න නම් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි

රට ස්ථාවර කරන්න නම් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි

දූෂණ වංචා අක්‍රමිකතා වලින් තොර ස්ථාවර දේශපාලන යාන්ත්‍රණයක් රට තුළ නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දුර්වල දේශපාලන සහ කළමනාකරණ යාන්ත්‍රණයේ ප්‍රතිඵලයක් වශයෙන් රට දිනපතාම අගාධයට යන තත්ත්වය සම්බන්ධයෙන් මුල සිටම අප ජනතාව සහ දේශපාලකයන් සක්‍රීය ලෙස දැනුවත් කළ අතර ඉතා සාධාරණ සහ නිරායුධ ජන අරගලයේ ආරම්භක අවස්ථාවේ සිට ම එහි කොටස්කරුවකු බවට පත්වීමු.

අද දවසේ අප රට සමාජ, ආර්ථික හා දේශපාලනමය වශයෙන් අබ්බගාත වී ඇති බවත් තවදුරටත් මෙය මරණ මංචකය වෙත ඇදෙන බවත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අපි අවධාරණය කරන්නෙමු. මෙම අර්බුදය හමුවේ රටේ සාමාන්‍ය ජන ජීවිතය සම්පුර්ණයෙන් කඩාවැටී ඇත. එමෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහන පද්ධතීන් තවදුරටත් අඩපණවෙමින් පවතී. තවද ඉන්ධන අර්බුදය හේතුවෙන් පංති භේදයකින්, වයස් භේදයකින් තොරව සෑම ජන කොට්ඨාශයක්ම මෙන්ම හෙට ඉපදීමට සිටින නූපන් දරුවන්ද දැඩි ලෙස පිඩාවන්ට ලක්වී ඇත. අනෙකුත් සෑම වෘත්තිකයන් මෙන් ම සෞඛ්‍ය වෘත්තිකයන් ද පවතින දැඩි අර්බුද හමුවේ වුවත් තම රාජකාරී කටයුතු කෙසේ හෝ ඉටුකිරීමට දැඩි පරිශ්‍රමයක් දරන අතර වෛද්‍යවරු, හෙද හෙදියන් මෙන්ම අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩල, ඇතැම් සමාජ කණ්ඩායම්වල විවේචනයන්ට ලක්වුව ද තම වෘත්තීය වගකීම් ඉටුකිරීමට  හා ජනතාවගේ යහපත උදෙසා රෝගී සත්කාරක සේවාවන් සඳහා තවදුරටත් කැපවීමෙන් කටයුතු කරමින් සිටී.

මෙය ඉතා අසීරු තත්ත්වයක් වුවද, පවතින සීමිත සම්පත් ප්‍රමාණය මනා කළමනාකාරීත්වයකින් යුතුව සාධාරණ ලෙස බෙදී යා යුතු අතර මහජන සුබසිද්ධිය පෙරදැරි කර ගනිමින් ප්‍රමුඛතා හඳුනාගෙන මෙම කාර්යය සිදුකලයුතු බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ලෙස අපි අවධාරණය කර සිටින්නෙමු. ජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් සුරැකීමට අපොහොසක් පාලන තන්ත්‍රයක් හමුවේ අද මිනිසුන් මහමග තම ජීවිතය ඇපයට තබා ඉන්ධන, ආහාර, බෙහෙත් පෝලිම්වල කල්මැරීමට සිදුවීම අප තරයේ හෙලා දකින්නෙමු. දේශපාලන තන්ත්‍රය තවදුරටත් මෙම අර්බුද විසඳීමට අවශ්‍ය කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් හා සැලසුම් පිළිබඳ ප්‍රයෝගික අත්දැකීම් සහිත වෘත්තීය හා පරිපාලන විශේෂඥයින්ගේ දැනුම හා යෝජනා අවධානයට නොගැනීම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අප රට තවදුරටත් හෑල්ලුවීමට බලපා ඇතිබව අපගේ විශ්වාසය යි.

මේ වන විට රට තුළ පවතින අයහපත් දේශපාලන වාතාවරනය සහ විශ්වාස කළ නොහැකි කළමනාකරණ යාන්ත්‍රණය නිසා ශ්‍රී ලංකාවට දිගින් දිගටම ආධාර කිරීම සඳහා විදේශ රටවල්  අකැමැත්තකින් පසුවන බව ජනමාධ්‍ය ඔස්සේ දෘශ්‍යමාන විය .එබැවින් මේ තත්ත්වය තවදුරටත් වැඩි වර්ධනය කොට රටේ ජන ජීවිතය සමූල ඝාතනයකට ලක්වීම වැළැක්වීම සඳහා රටේ වර්තමාන ජනාධිපතිවරයා ද අග්‍රාමාත්‍යවරයා ද ඉල්ලා අස්වී  ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි දූෂණ වංචා අක්‍රමිකතා වලින් තොර දේශපාලන යාන්ත්‍රණයක් ස්ථාපිත කර ගැනීම සඳහා අවස්ථාව උදාකර දෙනු ඇතැයි අප ඉල්ලා සිටින අතර මේ මොහොතේ රට තුළ සිදුවන නිරායුධ ජනඅරගල සඳහා කොන්දේසි විරහිතව අප විසින් සහයෝගය ලබා දෙන්නෙමු.