සියල්ල ව්‍යාකූල කර, ජනපති පුටුවේ අත්පත් කර ගැනීම රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලසුමයි

සියල්ල ව්‍යාකූල කර, ජනපති පුටුවේ අත්පත් කර ගැනීම රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලසුමයි
  • "මහ ජනතාවගේ පණිවිඩය පැහැදිළියි. ගෝඨාත් යන්න ඕනේ. රනිලුත් යන්න ඕනේ. පටලවන්න හැදුවොත් 18දා සිට වර්ජන සහ හර්තාල්“
  • “ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා "if you can’t convince confuse them" කියලා. ඒ කියන්නේ "ඔබට යමක් ඒත්තු ගන්වන්න නොහැකි නම්, පුළුවන් තරම් ව්‍යාකූල කර දමන්න කියන එක".

රනිල් වික්‍රමසිංහ මහත්තයා අද කරමින් ඉන්නේ ඒක. එයා ගොඩාක් පොත් කියවන හින්දා සමහර විට අත්හදා බැලීමක් කරනවා වෙන්න ඇති. රනිල් වික්‍රමසිංහ මහත්තයාට කවදාවත් මේ රටේ ජනාධිපති හෝ අගමැති කියන එක රටේ මහජනතාවට ඒත්තු ගන්වන්න බැහැ ඒත් එයා ඒ අරමුණ එයාගේ ජීවිතයේ එකම අපේක්ෂාව කරගෙන ඉන්න කෙනෙක්. 1000 ක් 2000ක් මරණයට පත් වුනත් එයා එයාගේ අරමුණෙන් ඉවත් වෙන එකක් නෑ.

රනිල් ගෝඨාභය හවුල හරහා රටම දැන් ව්‍යාකූල වෙලා රනිල් වැඩ බලන ජනාධිපති එතකොට අගමැති වෙන්නෙත් එයාම තමයි. ජනාධිපතිවරයා ඉල්ලා අස් වෙනවලු. ඊට පස්සේ අනුප්‍රාප්තික අගමැති වෙන්නෙත් රනිල්ම තමයි. ව්‍යවස්ථාවේ 37, 38, 40 වගේ ඒවා ඇතුලේ මුළු රටම ව්‍යාකූල කරල තියෙන්නේ..

ඒ අතර අරගල බිමත් ව්‍යාකූල කරන්න කණ්ඩායම් යොදවල තියෙනවා ඊයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්තිය උනේ වෘත්තීය සමිති නියෝජනය කරමින් අරගල බිමට ගිය වසන්ත සමරසිංහට ප්‍රහාරයක් එල්ල කරා කියන එක. ඔහු බැන්ඩේජ් ගහගෙන ඉන්න පින්තූර එහෙමත් හදල ඒකට විශාල ප්‍රචාරයක් දීලා තිබුනා. හැබැයි ඇත්තටම සිද්ද උනේ අරගල බිම ව්‍යාකූල කරන්න ආපු කණ්ඩායමක් එතනින් එලවපු එක.

දැං පාර්ලිමේන්තුව වට කරන්නත් කණ්ඩායමක් ඇවිල්ලා ඒ තීරණය ගත්තේ කොහේද කියලා තාම පැහැදිලි නෑ. T56 ගිනි අවියක් උණ්ඩ සමඟ නැති වෙලා තියෙනවලු. හෙට අනිද්දා කවුරු හරි මේකෙන් වෙඩි තියලා, "ඒක හොරකං කරපු ගිනි අවියෙන් අරගල කාරයෝ කරපු දෙයක්" කියලා කිව්වොත් අපි පුදුම වෙන්න ඕන නෑ.

දැනටමත් මේක ෆැසිස්ට් අරගලයක් විදිහට රනිල් වික්‍රමසිංහ මහත්තයා විසින් නම් කරලා ඉවරයි. ඒ නිසා ඉලක්කය කොයි දිශාවටද යන්නේ කියලා තේරුං ගන්න අමාරු නෑ.

ඒ නිසා වගකිව යුතු වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදිහට අපි මේ පටලැවිල්ල ලිහා ගන්න කිසියම් කාලයක් දෙන්න තීරණය කරා. අපි හෙට සිට හර්තාලයක් සහ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරල තිබුනත් ඒක 18 වෙනිදා වෙනකං කල් දානවා.

අපි ඉල්ලීමක් කරනවා වැඩබලන ජනාධිපති ඒ වගේම අගමැතිගෙන් සහ කථානායක ඇතුළු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉදිරි පැය 72 ඇතුලත රටට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන්න කියලා. මිනිස්සුන්ව ව්‍යාකූල කරන්නේ නැති වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න කියලා අපි බල කරනවා. අපිට ඕනේ ව්‍යවස්ථානුකූල උත්තරයක්. ව්‍යවස්ථාවෙන් ඔබ්බට යන කැලෑ නීතියක් වෙනුවෙන් අපි කොහොමටවත් පෙනී ඉන්නේ නෑ.

ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විදිහට අපි බලාපොරොත්තු වෙනවො ලබන 17 වෙනිදා අපේ යෝජනාව ඉදිරිපත් කරන්න. අරගල බිම කියන්නෙත් අපේ බිමක් ඒ නිසා අරගල බිමෙන් ඉදිරිපත් කරල තියෙන ව්‍යවස්ථානුකූල යෝජනා පිළිබඳවත් අපි දැඩි සැලකිල්ල යොමු කරන්න බලාපොරොත්තු වෙනවා..

කොහොම උනත් මේ හැම අරගල බිමකින්ම මතුවෙන පණිවිඩය ඉතා පැහැදිලියි. ඒක තමයි "ගෝඨාභය රාජපක්ෂ තනතුරෙන් ඉවත් වෙන්න ඕන" කියන එක සහ "රනිල් වික්‍රමසිංහ තනතුරු වලින් ඉවත් වෙන්න ඕන" කියන එක. ඒක ව්‍යාකූල පණිවිඩයක් නෙවේ. ඉතා පැහැදිලි පණිවිඩයක්. උත්තර හොයන හැමෝම ඔළුවට ධාරණය කර ගත යුතු පණිවිඩයක්.

රනිල් වික්‍රමසිංහ මහත්තයාට හිතෙනවා නං එයා⁣ට ජනමතයක් තියෙනවා කියලා ඒකට කලබල වෙන්න අවශ්‍යම නෑ. තව නොබෝ කලකින් එළඹෙන මැතිවරණයකදී ඒ අවස්ථාව ඔහුට හිමි වෙන හින්දා කෙටි මාර්ග හොයලා රටේ අවුල් හදන එක නොහොබිනා ක්‍රියාවක්.

18 වෙනිදා වෙනකොට අපිට උත්තර නැතිනං අපි සමස්ථ වෘත්තීය සමිති ව්‍යාපාරයම අරගල බිමට කැඳවනවා. ඒ නිසා ඉදිරි පැය 72 නිවැරදිව භාවිතා කරන එක හැමෝගෙම වගකීමක් බව අපි අවධාරණය කරනවා.

Ravi kumudesh photo 2

| රවී කුමුදේශ්, සම කැඳවුම්කරු, වෘත්තීය සමිති සම්බන්ධීකරණය මධ්‍යස්ථානය