දූෂිත ලංකා බැංකු සභාපතිට එරෙහිව දැවැන්ත විරෝධයක්

දූෂිත ලංකා බැංකු සභාපතිට එරෙහිව දැවැන්ත විරෝධයක්

ලංකා බැංකුවේ සභාපති විසින් පසුගිය වසර දෙක හමාරක කාලය තුළ බැංකුව තුළ සිදු කරන ලද අනීතික දූෂිත ක‍්‍රියාවලිය හේතුවෙන් ලංකා බැංකුව අර්බුදයකට යොමු වෙමින් පවතින බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.

අවිධිමත් ණය ලබාදීම, මහජන මුදල් අවභාවිතා කරමින් සිදුකරන ලද දූෂිත ගනුදෙනු  රැසක් පිළිබඳ සංගමය විසින් වගකිවයුතු පාර්ශ්ව වෙත ලිඛිතව පැමිණිලි කර ඇති බවත්,  එම පැමිණිලි අනුව පරීක්ෂණ පවත්වා ඇති රජයේ විගණකාධිපතිතුමා සංගමය සභාපතිවරයාට එරෙහිව නඟන චෝදනා තහවුරු කර පරීක්ෂණ වාර්තා නිකුත් කර ඇති බවත් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක පවසයි.

ඊට අමතරවද විගණකාධිපති වරයා විසින් සිදුකරන ලද තවත් පරීක්ෂණයන්ට අනුව බැංකුව තුළ අවිධිමත් ක‍්‍රියා රැසක් සිදුවී ඇති බව වාර්තා වන බවද, හෙතෙම කියා සිටියි.

ලංකා බැංකුවේ සභාපතිවරයාගේ මෙම අනීතික දූෂිත ක‍්‍රියාවන්ට එරෙහිව සංගමය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග පිළිබඳ තීන්දු කරනු ලැබූ අතර, ඒ අනුව පසුගිය සතිය තුළ කොළඹ නගරයේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරන ලද අතර, ලංකා බැංකුව ඉදිරිපිට බැනරයක් ප‍්‍රදර්ශනය කරමින් සභාපතිවරයාගේ දූෂිත ක‍්‍රියා පිළිබඳ වෝහාරික විගණනයක් සිදු කරන ලෙස බලධාරීන් වෙත බල කරන ලද බව හෙ‌තෙම සිහිපත් කරයි.

සභාපතිවරයාගේ දූෂිත ක‍්‍රියාවලට එරෙහිව සංගමය ගෙනයන ක‍්‍රියාමාර්ග මර්දනය කිරීමේ අරමුණින් ජන අරගලයේ සාමකාමී උද්ඝෝෂණ වලට සහභාගීවීම මුවාවෙන් ලංකා බැංකු ශාඛා සංගමයේ ලේකම් ධනංජය සිරිවර්ධන සහ හිටපු සභාපති පාලිත ඇටම්පාවල යන අය පසුගිය 4 වන දින අත් අඩංගුවට ගනු ලැබීය.

 මෙම අත් අඩංගුවට ගැනීම පිටුපස සභාපතිවරයාගේ මැදිහත් වීම මත අදිසි හස්තයක් ක‍්‍රියාත්මක වූ බවට සංගමයට තොරතුරු වාර්තා වී ඇති අතර, දූෂණයට  එරෙහිව හඬ නගන වෘත්තීය සමිති නායකයින්  මර්දනය කිරීමට දරන උත්සාහය දැඩි ලෙස හෙලා දකින බව රංජන් සේනානායක අවධාරණය කරනු ලබයි.

මේ අතර ලංකා බැංකුවේ සභාපතිවරයාගේ මෙම අනීතික ක‍්‍රියාවලියට එරෙහිව සහ ඔහු ලංකා බැංකුවේ සභාපති තනතුරෙන් ඉවත් කිරීම සඳහා බලධාරීන් වෙත බලකරමින් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග දියත් කිරීමට ලංකා බැංකු සේවක සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

 ඒ අනුව එහි එක් පියවරක් ලෙස ලංකා බැංකු සේවක සංගමයේ සියලූම රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද (15) දහවල් 12.30 ට ලංකා බැංකුව ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත පිකට් උද්ඝෝෂණයක් පවත්වන ලදී.