භාණ්ඩ ආනයන තහනමින් මිලියන පහකගේ රැකියා අනතුරේ

භාණ්ඩ ආනයන තහනමින් මිලියන පහකගේ රැකියා අනතුරේ
භාණ්ඩ 305 ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙරට මිලියන 05කට අධික පිරිසකට රැකියා අහිමිවීමේ අවධානමක් පවතින බව සුළු හා මධ්‍යම පරිමාණ ස්වාධීන ආනයනකරුවන්ගේ සංගමය අවදාරණය කරයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුළු හා මධ්‍යම පරිමාණ ස්වාධීන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසන්න ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ  රජය විසින් කිසිදු ආකාරයක අධ්‍යනයකින් තොරව හදිසියේම මෙලෙස භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය තාවකාලිකව අත්හිටුවීම නිසා මෙම තත්ත්වය උදා වී තිබෙන බවයි.
 

පවතින තත්ත්වය හමුවේ සිය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා කෝටා ක්‍රමයක් යටතේ ආනයනය අත්හිටුවා ඇති භාණ්ඩ අතරින් අත්‍යාවශ්‍යම භාණ්ඩ ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙසද ඔහු ඉල්ලීමක් කලා.

මම තහනම් කරනු ලැබූ භාණ්ඩ අතුරින් ලංකාවේ නිෂ්පාදනය නොකරන භාණ්ඩද ඇතුළත්ව තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා මෙය මේසන් බාස්ගේ සිට රැකියා අහිමිවීමේ අවදානම තිබෙන ගැසට් එකක් බවත් පැවසීය.

අගෝස්තු 22 දා, මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අත්සනින් නිකුත් කෙරුණු අංක 2294/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ආනයනය "තාවකාලිකව අත්හිටුවනු" ලැබූ භාණ්ඩ වර්ග සංඛ්‍යාව 367ක් වන අතර එම තහනම අගෝ. 23 දා සිට බලාත්මකයි.

මෙම තහනම යටතේ එදිනෙදා ජන ජීවිතයට අවැසි ශීතකරණ, ජංගම දුරකථන, ෂැම්පු, ඩියෝඩරන්ට්, රැවුල බෑමේ නිෂ්පාදන වැනි පුද්ගල සනීපාරක්ෂක ද්‍රව්‍ය හා යට ඇඳුම් ඇතුළු භාණ්ඩ හා උපකරණ රැසක් ද මේ ලැයිස්තුවේ තිබෙන අතර ලංකාව තුළ ඇතැම් ව්‍යාපාර හා කර්මාන්ත පවත්වාගැනීමට අත්‍යාවශ්‍ය වන උපකරණ, අමුද්‍රව්‍ය හා වෙළඳ භාණ්ඩ මෙසේ ආනයනය අත්හිටුවනු ලැබූ භාණ්ඩ යටතට අයත්.

මෙම තීරණය හමුවේ මෙරට ක්ෂේත්‍ර රැසක රැකියා අහිමිවීමේ අවදානම මතුව තිබෙන බවයි බොහෝ දෙනෙකුගේ අදහස.