යුදමය පීඩාවන් නිසා පැන ගිය සරණාගතයින් ගෙන්වීමට පියවර

යුදමය පීඩාවන් නිසා පැන ගිය සරණාගතයින් ගෙන්වීමට පියවර
මෙරට පැවති යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කමිටුවක් පත් කර තිබේ.
 
මෙම කමිටුව ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවියගේ  ප්‍රධානත්වයෙන් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.
 
ආගමන  විගමන පාලක ජනරාල්, විදේශ කටයුතු අමාත්‍යාංශය, රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ  අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් මෙම කමිටුව  සමන්විත වේ.
 
යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා “ඊළාම් සරණාගතයින් පුනරුත්ථාපනය සඳහා වූ සංවිධානයේ” (OFERR) ඉල්ලීම පරිදි ජනාධිපති  ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී  ඊයේ (05) පැවැති සාකච්ඡාවේ දී මෙම තීරණයට එළැඹිණි.
 

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 58,000ක් පමණ මේ වන විට සරණාගතයින් ලෙස රැඳී  සිටින අතර එම පිරිස අතරින් 3800ක් පමණ ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට සූදානමින් සිටින බවත් එහිදී සඳහන් විය.