ලබන අවුරුද්දේ රාජ්‍ය සේවක බඳවා ගැනීම් වලට කුමක් වෙයිද?

ලබන අවුරුද්දේ රාජ්‍ය සේවක බඳවා ගැනීම් වලට කුමක් වෙයිද?
ඉදිරි වර්ෂය සඳහා රාජ්‍ය සේවයට අත්‍යවශ්‍ය වෘත්තිකයන් පමණක් බඳවා ගනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් මඟින් පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසයි.
 
අගමැති ලේකම් අනුර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව මෙම කමිටුව ක්‍රියාත්මක වන බව හෙතෙම කියා සිටියි.
 
රාජ්‍ය සේවයට අත්‍යවශ්‍ය බඳවා ගැනීම් අවශ්‍ය කුමන වෘත්තීන් සඳහා ද කුමන ප්‍රදේශ සඳහා ද යන්න ඒ අනුව මෙම කමිටුව මඟින් තීරණය කරනු ලබන බවත්,  දැනට රාජ්‍ය සේවයේ නිරත සේවකයන් පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව එම බඳවා ගැනීම් සිදු කෙරෙන බවත් ලේකම්වරයා කීය.  
 
ඒ අනුව සිදුකළ යුතු අත්‍යවශ්‍ය බඳවා ගැනීම්, විශ්‍රාම ගැන්වීම් සහ එවැනි විශ්‍රාම ගැන්වීම්වලින් පසුව නව බඳවා ගැනීම් අවශ්‍ය ක්ෂේත්‍ර පිළිබඳ මෙම කමිටුව මඟින් අවශ්‍ය නිර්දේශ ලබා දෙනු ඇතැයි සඳහන්ය.
 
විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා පහත දැමීමට රජය පියවර ගැනීමත් සමඟ මේ වසර අවසන් වන විට විවිධ ක්ෂේත්‍රවල රාජ්‍ය නිලධාරින් 25,000ක් පමණ විශ්‍රාම ගැනීමට නියමිතය. ඒ අනුව පුරප්පාඩු වන අත්‍යවශ්‍ය තනතරු සඳහා පමණක් මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව මෙම කමිටුවේ නිර්දේශ මත බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතය.
 
රාජ්‍ය ආයතන සඳහා අලුතින් බඳවා ගැනීම් සිදු නොකරන ලෙස රජය විසින් පසුගිය මාසයේ දී ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ වියදම් අවම කර ගැනීමේ අපේක්ෂාවෙන් මේ තීරණය ගෙන තිබෙන බවද ලේකම්වරයා පැවසීය.
 
 ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශ මත අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බඳවා ගැනීම් සලකා බැලීමට තීරණය කර ඇත.