ගුරුවරුන්ටත් පහසු ඇඳුමක් ඉල්ලයි

ගුරුවරුන්ටත් පහසු ඇඳුමක් ඉල්ලයි

රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් කිකුත් කර ඇති 05/2022 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය පාසල්වල ගුරුවරියන් සම්බන්ධයෙන් ද අදාළ කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස ඉල්ලා සිටින අතර, කැමති ගුරුවරියන්ට සාරිය හෝ ඔසරිය ඇඳීමටත්, අනෙක් අයට වෙනත් සුදුසු ඇඳුමක් ඇඳීමටත් අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2022.09.27 දිනැති අංක 05/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් රජයේ නිලධාරිණියන්ට රාජකාරියේ නිරතවීමේදී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී සිටීමට අවස්ථාව ලබා දී ඇත.

එහෙත් එම චක්‍රලේඛයේ විධිවිධාන පාසල් ගුරුවරියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන අතර, ඔවුන්ට සාරිය හෝ ඔසරිය පමණක් ඇඳීමට සිදුව ඇත. මේ දිනවල පවතින දැඩි ආර්ථික පීඩනය හමුවේ ඉහළ මිලක් ගෙවමින් සාරි මිලදී ගැනීමට සිදුවීම බරපතල ගැටලුකාරී තත්වයකි. එසේම පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් බොහෝ ගුරුවරියන් (විශේෂයෙන් දුර බැහැර ප්‍රදේශවල) පා පැදි හෝ යතුරු පැදි භාවිත කරමින් පාසල් වෙත පැමිණීම සිදු කරයි. මෙහිදී සාරිය හෝ ඔසරිය මහත් බාධාකාරී වී ඇති බැවින් උක්ත චක්‍රලේඛය ගුරුවරියන් සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක කරන ලෙස බොහෝ ගුරුවරියන් ඉල්ලීම් ඉදිරිපත් කරයි.

එසේම ගුරුවරියන් දරුවන් සමග කටයුතු කිරීමේදී සාරිය, ඔසරිය වැනි ඇඳුමක වඩා වෙනත් පහසු සරල ඇඳුමකින් සැරසීමෙන් කාර්යක්ෂම ලෙස කටයුතු කළ හැකි බව අපගේ නිරීක්ෂණයයි. එය පින්ලන්තය වැනි දියුණු අධ්‍යාපනයක් ඇති රටවල ගුරිවරියන්ගේ ඇඳුම නිරීක්ෂණය කිරීමෙන් ද පැහැදිලි වන තත්වයකි.

මේ තත්ත්වය තුළ උක්ත චක්‍රලේඛය පාසල් ගුරුවරියන්ට අදාළ කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස ඉල්ලා සිටින අතර, කැමති ගුරුවරියන්ට සාරිය හෝ ඔසරිය ඇඳීමටත්, අනෙක් අයට වෙනත් සුදුසු ඇඳුමක් ඇඳීමටත් අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා සිටිමු. දුරකතනයෙන් ඔබතුමා සමග සාකච්ඡා කළ පරිදි ආදළ ඇඳුම් ආකෘත කිහිපයක් ද මේ සමග යොමු කොට ඇත.