වෘත්තීය සමිති නායකයකු මාධ්‍ය ඇමතීම වැඩ තහනමට හේතුවක් ද?

වෘත්තීය සමිති නායකයකු මාධ්‍ය ඇමතීම වැඩ තහනමට හේතුවක් ද?

රටේ ලියාපදිංචි වෘත්තීය සමිති ව්‍යාපාරයක් වන අප වෘත්තීය සමිති ව්‍යාපාරයේ සභාපතිවරයා විසින් විද්‍යාත්මක පදනමක් මත මාධ්‍ය සිදු කරන ලද ප්‍රකාශයක් කේන්ද්‍ර කොට ඔහුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කරමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ විධායක සභා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රටේ ආහාර සුරක්ෂිතතාවය බිඳවැටීම ආහාර හිගය සාමාන්‍ය මහජනතාවගේ පෝෂණ තත්ත්වයන් ඖෂධ හිඟය ඖෂධ මිල ඉහළ යාම ඇතුළු මේ වන විට ආර්ථික අර්බුදය නිසා දැඩි ලෙස දරිද්‍රතාවයෙන් පීඩා විදින සාමාන්‍ය මහජනතාවගේ ඉතා සංවේදී කරුණු සම්බන්ධයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස පසුගිය කාල සීමාවේදී දිගින් දිගටම කරුණු පැහැදිලි කරදෙමින් පාර්ලිමේන්තුවද දේශපාලකයින් ද රටේ ඉහළ බලධාරීන්ගේ ද අවධානය යොමු කිරීමට සමත් වීමු. එවන් තත්ත්වයක් යටතේ ඇතැම් පාර්ශ්ව අප වෘත්තීය සමිති ව්‍යාපාරය තමන්ගේ අකාර්යක්ෂම ක්‍රියාකලාපයට තර්ජනයක් ලෙස සලකන බව අපට අවබෝධ විය.

අප වෘත්තීය සමිති ව්‍යාපාරය සභාපතිවරයා ලෙස වෛද්‍ය ජී ජී  චමල් සංජීව මහතා විසින් සිදුකරන ලද මාධ්‍ය ප්‍රකාශයක් පදනම් කොට  මාධ්‍ය ආයතනවලින් මුද්‍රණය කරන ලද ප්‍රවෘත්තියක් කේන්ද්‍ර කොට ඒ මහතාගේ වැඩ තහනම් කිරීමට ඔබ විසින් නියෝග කර ඇති බව ඒ මහතා විසින් අප වෙත දැනුම් දීමක් කර ඇත.

රජයේ ලියාපදිංචි වෘත්තීය සමිති ව්‍යාපාරයක සභාපතිවරයා ලෙස ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණයේ සහ එක්රැස් වීමෙ නිදහස ආරක්ෂා කර ගැනීමට පවතින විධිවිධාන වලට යටත් ව ද ආයතන සංග්‍රහයේ ඇති වෘත්තීය සමිති අයිතිය යන පරිච්ඡේදය යටතේ පවතින අයිතිවාසිකම් වලට යටත්ව ද 1999 අංක 56 දරණ කාර්මික ආරවුල් සංශෝධන පනතට යටත්ව ද ඉන් ඔබ්බට වෛද්‍යවරයෙකු ලෙස මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ඒ මහතා වෙත වෘත්තීය සමිති ව්‍යාපාරයක සභාපතිවරයෙක් මිස පැවරී ඇති මානුෂීය අයිතිවාසිකම් වලට යටත්ව ද හෘද සාක්ෂියට එකඟව ඉතා සද්භාවයෙන් යුක්තව හා විද්‍යාත්මක ලෙස ද සියලු සාක්ෂි සහිතව ද ලබාදෙන ලද කරුණු මත පදනම්ව මේ අන්තිමට ඒ මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට ඔබ විසින් ගනු ලැබූ තීරණය අප විසින් දැඩි ලෙස හෙළා දකින අතර, මෙය රජය මගින් වෘත්තිය සමිති දඩයම් කිරීමට පවත්වාගෙන යනු ලබන ක්‍රමෝපායන් ට සහයෝගය දැක්වීමක් ලෙස ද දක්වනු කැමැත්තෙමු.

රට තුළ සිදුවන කරුණු සම්බන්ධයෙන් සාමාන්‍ය මහජනතාව සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කොට පවතින අඩුපාඩු සකස් කොට මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අප වෘත්තීය සමිති ව්‍යාපාරයේ මූලික ව්‍යවස්ථාව තුළම පවතින ප්‍රතිපදාන වන අතර ආණ්ඩුවේ නිලධාරීන්ගේ වැරදි අඩුපාඩු හෝ දේශපාලකයන්ගේ වැරදි අඩුපාඩු වසා ගැනීම සඳහා සත්‍ය කතා කරන වෘත්තීය සමිති සහ නිලධාරීන් දඩයම් කිරීමට පිටුවහලක් වන ලෙස ගෙන ඇති මෙම තීරණය ඉතා දැඩි ලෙස හෙලා දකිමු.

එබැවින් මෙම තීරණය ලබා ගැනීමට පෙර නිසි සුදුසුකම් සහිත පරීක්ෂණ සභාවක් හරහා කරුණු විමසා බලා විනිශ්චය කරන තෙක් මෙම තීරණය අත්හිටුවන ලෙස වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස ඉතා ඕනෑකමින් සහ අවධාරණය කොට ඉල්ලා සිටිමු.