ප්‍රමාද වූ විශ්‍රාම වැටුප් අදියර දෙකකින් ගෙවන්න සූදානම්

ප්‍රමාද වූ විශ්‍රාම වැටුප් අදියර දෙකකින් ගෙවන්න සූදානම්
විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලයේ සිදුවූ ප්‍රමාදය නිවැරදි කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
 
පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම කරුණු අනාවරණය කර ඇතැයි අප වාර්තාකරු පවසයි.
 
අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමෙන් පසුව කොටස් දෙකක් වශයෙන් මෙම ගෙවීම් සිදුකිරීම සඳහා කටයුතු සලසන බවයි.
 
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන පරිදි  ආර්ථික අර්බුදය මත භාණ්ඩාගාරය මගින් මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් විශ්‍රාමික පාරිතෝෂිකය අපේක්ෂාවෙන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කර ඇත.
 
මේ වනවිට 2022 ජනවාරි දක්වා සියලු ගෙවීම් සිදු කර ඇති අතර ජනවාරි සිට ඉතිරි කාලය දක්වා ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය මේ වනවිට එකඟතාව පළ කර ඇති බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර තිබේ.
 
පළාත් පාලන ආයතනවල දීර්ඝ කාලයක් සේවය කළ සේවකයන්ගේ ගැටලු විසඳීම සදහා වූ ඉදිරි ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කළ බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියි.