හැට පැන්න පිරිසක් අධ්‍යාපනයේ තියාගන්න උත්සාහයක්

හැට පැන්න පිරිසක් අධ්‍යාපනයේ තියාගන්න උත්සාහයක්

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ වයස අවු.60 සම්පූර්ණ වූ තෝරා ගත් නිලධාරීන් පිරිසකට සේවා දිගු ලබාදීමේ උත්සාය නතර කරන ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උත්සාහයට විරෝධය පා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වයස අවුරුදු 60 සම්පූර්ණ වූ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ හා පළමු පන්තියේ තෝරාගත් නිලධාරීන් 17 දෙනෙකුට තවදුරටත් සේවා දිගු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කර ඇත.

මෙවැනි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කිරීම සම්බන්ධයෙන් මෙන්ම වයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද තෝරාගත් නිලධාරීන් පිරිසකට පමණක් සේවා දිගු ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ලෙස අපගේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටිමු. 

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ පන්තියට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන් සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ වසර 5 ක අත්දැකීම් සහිත නිලධාරීන් නොමැති වීම මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට හේතු සාධක ලෙස දක්වා ඇති බව වාර්තා වේ.

එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව 2022.12.31 දිනට පසු සේවයේ රැදී සිටින ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ වසර 5 කට වැඩි සේවා කාලයෙක් සැපිරූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 55 ක් සිටිති. ඊට අමතරව 2019.02.26 දින හා ඉන් පසුව පළමු පන්තියට උසස්වීම් ලද නිලධාරීන් 200 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ කටයුතු කරන අතර, තම ශ්‍රේණියට අදාළ තනතුරු නොදරන නිලධාරීන් පිරිසක් ද සිටිති.

මෙසේ තිබියදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් තමන්ට අවශ්‍ය තෝරාගත් පිරිසක් සඳහා සේවා දිගු ලබාදීමට කටයුතු කිරීමට බරපතල කනගාටුදායක තත්වයකි. මෙසේ තෝරාගත් පිරිසකට සේවා දිගු ලබාදීමෙන් අධ්‍යාපන පරිපාලන සේවයේ අනෙකුත් නිලධාරීන්ට එම තනතුරු දැරීමට ඇති අවස්ථාව අහිමි වන අතර, මෙය සමස්ත රාජ්‍ය සේවයටම වැරදි පූර්වාදර්ශයක් ද වේ.

මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තෝරාගත් නිලධාරීන් පිරිසකට වයස අවුරුදු 60 න් පසු සේවා දිගු ලබාදීමේ උත්සාය නතර කරන ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති අතර, එසේ නොවන්නේ නම් ශ්‍රී අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක සේවය හා ගුරු විදුහල්පති සේවා ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කර සිටිමු.