දුම්රිය හිතාමතා ප්‍රමාද කරලාද ? පරික්ෂණයක් ඉල්ලයි

දුම්රිය හිතාමතා ප්‍රමාද කරලාද ? පරික්ෂණයක් ඉල්ලයි

දුම්රිය අවලංගු කිරීම හා ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශණයක් කරන ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානය විසින් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, දුම්රිය අවලංගු කිරීම හා ප්‍රමාද කිරීම මේ දින වල බහුල වශයෙන් සිදුවන අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ තිබෙන තනතුරු පුරප්පාඩු ප්‍රමාණය ඒ සඳහා හේතුවී ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. පුරප්පාඩු පවතින්නේ එක් ශ්‍රේණියක හෝ දෙකක පමණක් නොව, පුහුණු ශ්‍රේණි වල නිලධාරීන් බොහෝ ප්‍රමාණයක පුරප්පාඩු පැවතීම නිසා දෙපාර්තමේන්තුව දැඩි අර්බුදයකට මුහුණ දී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ ශ්‍රේණී වලට අයත් තනතුරු පුරප්පාඩු 9000 කට අධික ප්‍රමාණයක් පවතින අතර, 2022. 12. 31 දින 600 කට අධික නිලධාරීන් ප්‍රමාණයක් එක විට විශ්‍රාම ගැනීම නිසා ප්‍රශ්නය තවත් උග්‍ර වී ඇත. මේ තත්වය මීට පෙර අවස්ථා කිහිපයකදීම, ප්‍රවාහන අමාත්‍ය වරයාට, ලේකම් වරයාට හා දුම්රිය සාමාන්‍යාධිකාරී වරයාට ලිඛිතව දන්වා ඇති නමුත්, ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමුකර නැත.

වයස අවුරුදු 60 සම්පූර්ණ වන නිලධාරීන් 2022. 12. 31 දින විශ්‍රාම ගැනීමට අදාල, රා. ප. චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවේ 2022. 09. 14 දින දීය. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොපමණ ප්‍රමාණයක් විශ්‍රාම යන්නේද යන්න සොයා බලා, දුම්රිය සේවාව අඩාල නොවන පරිදි විසඳුම් ලබාදීම දුම්රියේ ඉහල නිලධාරීන්ගේ වගකීමය. එම වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහල බලධාරීන් පැහැර හැර ඇත.

ප‍්‍රවාහන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීමට පුරුදුවී ඇත. ප්‍රවාහන ඇමති වරයා, ඔබතුමා සහ දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා ඇතුළු බලධාරීන් අවශ්‍ය වන්නේ දුම්රිය අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට නොවේ. ජනතාවගේ මුදලින් වැටුප් ලබන මේ සියළු දෙනාට පැවරී ඇති රාජකාරී වගකීම වන්නේ සියළු අපහසුතාවයන් මැද දුම්රිය ධාවනය කිරීමයි. එසේ නොමැතිව දුම්රිය අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට මේ නිලධාරීන් කිසිවෙක් අවශ්‍ය නැත.

අකාර්යක්‍ෂම දුම්රිය කළමනාකරණය විසින් හිතාමතාම දුම්රිය මගීන්ට දුම්රිය සේවය එපා කරවීම සඳහා කටයුතු කරමින් ඇත. ඇතැම් නිලධාරීන්  සහ කිසියම් වෘත්තීය සමිති නායකයෙක් මේ සඳහා සම්බන්ධවී තිබේද යන්න සැක සහිතය.

දිනපතා කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අංක 1007 කොටුව - බදුල්ල දුම්රිය 2023.01.05 දින ප්‍රධාන නියාමක වරයෙක් නොමැතිකමින් අවලංගු කිරීම අකාර්යක්‍ෂම දුම්රිය කළමනාකරණයට එක් උදාහරණයකි. දුම්රිය අවලංගු කරන බව මගීන් දැනුවත් කරනු ලබන්නේ දුම්රිය ධාවනය ආරම්භ කරන වේලාවේදීය. ඒ වන විට එම දුම්රියෙන් ගමන් ගන්නා මගීන් නියමිත වේදිකාවට පැමිණ ඇත. එවැනි අවස්ථාවක දුම්රිය ස්ථානයට පැමිණ මගී ජනතාව කොතරම් අපහසුතාවයකට පත්වන්නේද?.

දුම්රිය ස්ථානාධිපති ඇතුළු දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය මොනතරම් අපහසුතාවයකට පත්වන්නේද? මේ සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන්ට වගේ වගක් නැතිවීම කණගාටුවට කරුණකි.

මේ සම්බන්ධයෙන් ඔබ තුමාගේ අවධානය යොමුකර නිසි විමර්ශනයක් සිදුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.