මාර්තු මස 12 දිනට යෙදී ඇති ලෝක ග්ලෝකෝමා දිනයට සමගාමීව “ලෝකය දීප්තිමත්ය, ඔබේ පෙනීම සුරකින්න” යන්න තේමා කර ගනිමින් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, විෂන් 2020 ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඒකාබද්ධව මාධ්‍ය සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි.
ග්ලෝකෝමා රෝගී තත්ත්වය නිසා ඇතිවන අන්ධභාවයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට දැනුවත්භාවය ලබාදීම අරමුණු කරගනිමින් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.
ලෝක ග්ලෝකෝමා දිනයට සමගාමීව මාර්තු මස 12-18 දින දක්වා ජාතික ග්ලෝකෝමා සතියක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම සතිය තුල මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, වෛද්‍ය ශිෂ්‍යයින් සහ වෛද්‍යවරුන් සදහා පුහුණු වැඩසටහන්, සායන හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව සිදුකිරිමට නියමිතය.
ග්ලෝකෝමාව යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ජනයා සදාකාලික අන්ධභාවයට පත් කරන ප්‍රධානතම රෝගී තත්ත්වයක් වන අතර, එය අන්ධභාවයට බලපාන තුන්වන හේතුවයි. ග්ලෝකෝමාව නිසා අන්ධභාවයට පත් වූ ජනතාව මිලියන 4.5 කි. තවත් මිලියන ගණනක් අල්ප දෘෂ්ඨිකතාවයෙන් පෙළේ. ග්ලෝකෝමාව මුල් අවස්ථාවේ දී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අක්ෂි ස්නායුවට ස්ථීර හානි සිදුවීම නිසා ක්‍රමයෙන් අන්ධභාවයට පත්වේ. කල් ඇතිව රෝගය හදුනා ගැනීම මගින් පෙනීම ආරක්ෂා කර ගත හැකි වේ. වයස අවුරුදු 40 ට වැඩි පිරිස් වසර 2-3 කට වරක්වත් ග්ලෝකෝමාව සදහා අක්ෂි පරීක්ෂාව සිදුකර ගත යුතුය. ලංකාවේ ද දහස් ගණනක් අන්ධභාවයට පත්ව ඇති අතර, දහස් ගණනක් අල්ප දෘෂ්ඨිකත්වයෙන් පීඩා විදිති.
මෙම මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා.
“මෙවැනි මාධ්‍ය සම්මන්ත්‍රණයක් මගින් මහජනතාව දැනුවත් කිරිමට කටයුතු කිරීම පිළිබදව මම ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ එක්තරා ආයතනයක් පමණක් නොවෙයි. රේඛිය අමාත්‍යාංශයේ හා පළාත් සභා රෝහල් ඇතුළු රෝහල් 1160 කින් පමණ සමන්විත ජාලයක්. අපේ වගකීම ජනතාවට නිදහස් සෞඛ්‍ය ලබාදිම. අනෙක් රටවල් සමග ගත්විට නිදහස් සෞඛ්‍ය ලබාදෙන වෙනත් රටවල් සුළු ප්රමාණයකි තිබෙන්නේ. අපිට තිබෙන අභීයෝගයක් තමයි වයස්ගත ජනගහනය. එම හේතුවෙන් වැඩිවන දියවැඩියාව, අධිකරුධිර පීඩනය, අක්ෂි රෝග, ශ්‍රවණ රෝග වැනි රෝග ගණනාවක් තිබෙනවා. අපි ඒ අභියෝග හොදින් හදුනා ගන්නවා. පෙනීම ඉතා වටිනාම දෙයක් බැවින් එහිදී අක්ෂි රෝග ඉතාම වැදගත් වෙනවා. එම රෝග හදුනා ගැනිම සහ පාලනය සාක්ෂරතාවය වැඩිකිරීම සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මැදිහත් වෙනවා. ජනතාව දැනුවත් කිරීමේ දී මාධ්‍ය වෙත ද විශාල වගකීමක් පැවැරෙනවා මෙම කරුණු ජනතාව අතරට ගෙනයාම සඳහා. එමෙන්ම ජනතාවටත් වගකීමක් තිබෙනවා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනීමට. සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට පමණක් ම මෙම කර්තව්‍ය තනිව සිදු කළ නොහැකියි. වෙස්වලාගත් මාරයෙක් ලෙස තමයි රෝග පැමිණෙන්නේ. රෝගය වැළදෙනකම් දැනගන්න අපහසුයි. මුලින්ම රෝගය හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමුවීමෙන් රෝගී ජිවිත ආරක්ෂා කර ගත හැකි වෙනවා. ජනතාව මෙම රෝගය සම්බන්ධව දිගින් දිගටම දැනුවත් කිරීම වැදගත් වෙනවා. මෙම රෝගය ද රෝග ලක්ෂණ නොපෙන්වන රෝගී තත්ත්වයක්. රෝගියා හදුනා ගැනිම කල්යෑමත් සමග රෝගී ජිවිත සුරක්ෂිත කිරීමට කළ හැකි වැඩකොටස අල්පයි. ලංකාවේ පමණක් නොවෙයි මෙම සතිය මුළු ලෝකය පුරාම ක්‍රියාත්මක කරනු ලබනවා.”
මෙහිදී අදහස් දැක්වූ ග්ලෝකෝමා අක්ෂි වෛද්‍ය අනුකමිටුවේ හිටපු සභාපති, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය ප්‍රකාශ කරන ලද්දේ ග්ලෝකෝමාව යනු ඇසතුළ පීඩනය වැඩිවීම නිසා සිදුවන තෙරපීමෙන්, දෘෂ්ඨි ස්නායුවට හානිවීම, ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩුවීම සහ අන්ධභාවයට පත්වීම සිදු වන බවයි. වැඩිහිටි ජනගහනය වැඩිවිමත් සමග ග්ලෝකෝමා රෝගීන් ප්‍රමාණය ද වැඩිවී ඇති බවත්, වයස අවුරුදු 40 ට වැඩි නම්, පවුලේ අයෙකුට ග්ලෝකෝමාව ඇත්නම්, අවිදුර දෘෂ්ටිකත්වය ඇත්නම්, දියවැඩියාව රෝගය ඇත්නම්, ඇසට අනතුරක් සිදුවී ඇත්නම්, ස්ටීරොයිඩ ඖෂධ භාවිතා කරන්නන් වේ නම් සැළකිළිමත් විය යුතු බවයි.
ග්ලෝකෝමාව හදුනා ගැනීම සදහා දෘෂ්ඨි ස්නායු පරීක්ෂාව, ඇසේ පීඩනය මැනීම, ඇසේ දෘෂ්ඨි පරාසය මැනීම, ස්නායු සදහා OCT පරීක්ෂාව සිදු කරන බවද පැවසිය. ප්‍රතිකාර සදහා යොදා ගනු ලබන ඖෂධ ඉතා මිල අධික බවත්, ග්ලෝකෝමාව පාලනය සදහා ඖෂධ ප්‍රතිකාර, ලේසර් කිරණ ප්‍රතිකාර සහ ශල්‍ය ප්‍රතිකාර සිදු කරන බව ද පැවැසිය. එමෙන්ම ග්ලෝකෝමා රෝගියෙකු ඇසට නිවැරදි ලෙස බෙහෙත් දමන අකාරය පිළිබදව ද ජනතාව තුළ දැනුම්වත්භාවයක් පැවැතිය යුතු බවද පැවැසීය.
එමෙන්ම ග්ලෝකෝමාව ව්‍යාප්තිය පිළිබද ජාතික සමීක්ෂණ වාර්තාව පිළිබදව ද ඒ මහත්මිය අදහස් දක්වන ලදි. 2018 වසරේ එහි වැඩකටයුතු ආරම්භ කළ බවත්, 2022 දෙසැම්බර් වනවිට එහි වැඩකටයුතු අවසන් කිරීමට හැකියාව ලැබුන බවත් පැවැසීය.
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වශයෙන් ග්ලෝකෝමා රෝගී තත්ත්වයට අදාලව ප්‍රධාන කරුණු 04 ක් කෙරෙහි අවධානය යොමු කරන බවත්, ග්ලෝකෝමාව හදුනා ගෙන කටයුතු කිරිම සදහා පුහුණු කිරිමේ වැඩසටහන් සිදුකිරිම (පශ්චාත් වෛද්‍ය උපාධිය සිදු කරන වෛද්‍යවරුන්ගේ පටන් සාමාන්‍ය වෛද්‍යවරු දක්වා, අක්ෂි තාක්ෂණවේදීන් සහ හෙද නිලධාරින් ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල), ග්ලෝකෝමාව සමාජය තුලින් හදුනා ගැනීම සදහා දීප ව්‍යාප්තව ජනතාව පරික්ෂාවට ලක් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, ග්ලෝකෝමාව සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිම, ග්ලෝකෝමාව පිළිබද තොරතරු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා සමාජගත කිරිම සිදු කරන බව ශ්‍රී ලංකාවේ අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පැවැසිය.
ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ ඒ.ආර්.එම් තවුෆික් මහතා මෙහිදී පැවැසුවේ ග්ලෝකෝමාව යනු සියළුදෙනා දැනුවත්භාවය ලබාගත යුතු මෙන්ම රෝග ලක්ෂණ නොපෙන්වන රෝගී තත්ත්වයක් බවයි. එමෙන්ම පෙනීමේ අඩුවක් පවතී නම් කඩිනමින් අක්ෂි වෛද්‍ය සායනයකට හෝ වෛද්‍යවරයෙකු වෙත යොමුවීම සිදු කළ යුතු බවත්, අවධානම් සහගත රෝගී තත්ත්වයක් වන මෙම රෝගී තත්ත්වය පිළිබදව විශේෂ අවධානයක් යොමු කිරීම සහ විශේෂ තොරතුරු ලබාදීම මෙම මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ වන බව ද කීය.
ඇස් පරීක්ෂාව අක්ෂි ඒකකයක් ඇති ඕනෑම රජයේ රෝහලකින් කරගත හැකි අතර, ලංකා ජාතික අක්ෂි රෝහල ඕනෑම ශික්ෂණ රෝහලක, ඕනෑම මහ රෝහලක මෙන්ම ඇතැම් මූලික රෝහල් මගින් ද නොමිලේ සිදු කර ගතහැක.
රෝගී තත්ත්වයට වැඩිදුර පරීක්ෂණ හා වැඩිදුර ප්‍රතිකර්ම අවශ්‍ය වූ විට රෝගියා ශික්ෂණ රෝහලකට යොමු කෙරෙන අතර, ඒ වනවිටත් රෝගියාගේ පෙනුම ග්ලෝකෝමාව නිසා දුර්වල වී ඇත්නම් ඒ් සදහා අවශ්‍ය දෘෂ්‍යාධාර උපකරණ හා අවශ්‍ය සහයෝගය ලබාදීමට විශේෂිත සායන ද ශික්ෂණ රෝහල් තුළ ස්ථාපිත කර ඇත. මෙයට අමතරව පෞද්ගලික රෝහල්වල ද අක්ෂි පරීක්ෂාව සහ අවශ්‍ය පරීක්ෂණ සදහා පහසුකම් ඇත.
තව ද ග්ලෝකෝමා සතිය තුල අක්ෂි රෝහලේ සායන සදහා සහභාගි වන ග්ලෝකෝමා රෝගීන්ගේ ලඟම ආශ්‍රිතයින් පරීක්ෂාවට ලක් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ද ලබන සතියේ සිට ආරම්භ කිරිමට නියමිතය.
මෙම අවස්ථාවට ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ චින්තක බටවල මහතා, විෂන් 2020 වැඩසටහනේ හිටපු ජාතික සංවිධායක විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ, ශ්‍රී ලංකාවේ අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ වෛද්‍ය ප්‍රදිපා කේ. සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුලු වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.