වෘත්තීය සමිති සටන් සඟයිනි - මහපාරේදි ඔබට වදින්නේ කඳුළු විතරක්ම එන ගෑස්මද?

  වෘත්තීය සමිති සටන් සඟයිනි - මහපාරේදි ඔබට වදින්නේ කඳුළු විතරක්ම එන ගෑස්මද?
වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරයද, වෙනත් විවිධ බලපෑම් කණ්ඩායම්ද මේවන විට විටෙන් විට වැඩවර්ජන, උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර, හා පෙළපාලි සංවිධානය කරමින් තිබේ. ඉහළ යන ජීවන වියදම, ගෙවීමට අපහසු බදු බර, රැකියා අහිමි කිරීම්, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හා මර්දනය, මෙන්ම මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව විසින් කටයුතු කරමින් තිබීම මෙම රැල්ලට හේතුවයි.ආණ්ඩු හිතෛෂින් මෙම මර්දන ක්‍රියාදාමය සාධාරණීයකරණය කරමින් තිබෙන අතර වැඩකරන ජනයා ප්‍රමුඛ පොදුජනයා, සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙම අත්තනෝමතික මර්දන යාන්ත්‍රණයට එරෙහිව පෙළගැසෙමින් සිටියි. උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර මර්දනය කරනු පිණිස ආරක්ෂක අංශ විසින් යොදාගනු ලබන කඳුළු ගෑස් පිළිබඳව මේවන විට බොහෝදෙනාගේ අවධානය යොමුව තිබේ. 
 
කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වීමෙන් ඇති වූ ශ්වසන ආබාධ හේතුවෙන් මේවන විටත් මරණ දෙකක් සිදුව ඇති අතර තවත් පුද්ගලයෙකු දින ගණනාවක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ගනිමින් සිටියි.කලකට ඉහතදී කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් මෙවර යළි එකී ප්‍රහාරවලට ලක්වන විට අන් කවරදාටවත් වඩා තමන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ බව හා ඇස්වලට දැඩි වේදනාවක් දැනුණු බව පවසා ඇත. ඒ් නිසාම 'කඳුළු ගෑස්" යනු "කඳුළු ගෑස්"මද,? යන්න පවා මේ වන විට සැකසංකා පළවී තිබේ. සැබවින්ම මෙරට "කඳුළු ගෑස්" යන්නෙන් හඳුන්වන්නේත්, භාවිතා කරන්නේත් මොනවාද?
 
 
"කඳුළු ගෑස්" යනු රසායනික වායු අවියකි. කඳුළු ගෑස්  ඇතුළු ලු අනෙකුත් රසායනික සහ ජීව විද්‍යාත්මක අවි තහනම් කිරීමේ පළමු ජාත්‍යන්තර උත්සාහය වන්නේ ජාතීන්ගේ  සංගමය විසින් කැඳවන ලද 1925 ජිනීවා ප්‍රොටෝකෝලයයි. එමගින් “හුස්ම හිරවීම, විෂ සහිත හෝ වෙනත් වායූන් යුද්ධයේදී භාවිතා කිරීම" තහනම් කරයි. ඒ අනුව පැහැදිලිවම කඳුළු ගෑස් මෙම වර්ගීකරණයන් තුනට ඇතුළත් කළ හැකිය. එසේ  වුවත්, මෙම ජාත්‍යන්තර ප්‍රොටෝකෝලය තුළ තහනම් කර ඇති සහ තහනම් කර නොමැති වායූන් මොනවාද යන්න පිළිබදව නිශ්චිතව සඳහන් නොවේ. කෙසේ නමුත් බොහොමයක් රටවල් කඳුළු ගෑස් යන්න මෙම ප්‍රොටෝකෝලය යටතේ තහනම් කර ඇත යන අර්ථකථනය පිළිගනී. රාජ්‍යයන් 193 ක් එකඟ වී ඇති  අන්තර්ජාතික මානුෂවාදි නීති ගිවිසුමක් වන 1993 රසායනික අවි සම්මුතියට අනුව යුද්ධය තුළ ද, මාරාන්තික බලය භාවිතා කිරීමට පවා ඉඩ ලබා දී ඇති යුද නීතිය අනුවද, කඳුළු ගෑස් භාවිතා කිරීම තහනම් ය.එසේ නම්, එය තවදුරටත් විරෝධතා සහ උද්ඝෝෂණ විසුරුවා හැරීම සදහා භාවිතා කිරීමට ඉඩ දීම කොතරම් තර්කානුකූලද? සාධාරණද?
 
Natasha Williams, Maija Fiorante සහ Vincent Wong විසින් රචිත "The Problematic Legality of Tear Gas Under International Hunan Rights Law" නැමැති ප්‍රකාශනය උපුටා දක්වමින් සමාජ ක්‍රියාකාරිණියක වන නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙසේ පවසයි.
 
"රසායනික අවි භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ සම්මුතියක් තියෙනවා. එය 1925 ජිනීවා ප්‍රොටෝකෝලයට වඩා ශක්තිමත් ජාත්‍යන්තර නීතියකි. සිය පූර්වගාමී සම්මුතීන්වලට වඩා පියවර ගණනාවක් ඉදිරියට යමින් මෙම සම්මුතිය විසින් කැරලි පාලන වායුන් (Riot control agents) යුද්ධ තුළ භාවිතය තහනම් කර ඇත. කෙසේ නමුත් මෙම සම්මුතිය තුළ, දේශීය කැරලි පාලනය වැනි නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණු සඳහා කඳුලු ගෑස් භාවිතා කිරීම තහනම් කර නොමැත.  මෙම ව්‍යතිරේඛී තත්වයට බලපෑ එක් ප්‍රධාන හේතුවක් වන්නේ සම්මුතිය සදහා වැඩි රාජ්‍යයන් ගණනකගේ අනුමැතිය ලබා ගැනීමට සිතා මතාම සම්මුතියේ වගන්තීන් වෙනස් කිරීමයි.
මෙම තත්ත්වය තුළ කඳුලු ගෑස් දේශීය කැරලි මර්දනයට යොදා ගැනීම සඳහා රාජ්‍යයන් වෙත තවදුරටත් ඉඩ ලබා දීම පමණක් නොව යුද්ධ සදහාද කැරලි පාලන වායුන් යොදා ගැනීමට හැකි වෙන පරිසරයක් නිර්මාණය කර ඇත.
1993 ජනවාරි 14 වන දින ශ්‍රී ලංකාවද පාර්ශවකරුවෙකු ලෙස 1993 රසායනික අවි සම්මුතියට අත්සන් කළ අතර, 1994 අගෝස්තු 19 වන දින එම සම්මුතිය අපරානුමත කරන ලදී. ඒ අනුව 2007 අංක 58 දරන රසායනික අවි සම්මුතිය පිළිබද පනත මගින් මෙම අන්තර්ජාතික සම්මුතිය ශ්‍රී ලංකාවේ දේශීය නීතිය තුළට ඇතුළත් කරගන්නා ලදී. 
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ද යුද්ධ සදහා කඳුලු ගෑස් භාවිතා කිරීම තහනම් වන අතර නිරායුධ සිවිල් වැසියන්ගේ උද්ඝෝෂණ සහ විරෝධතා විසුරුවා හැරීමට සිතු සේ කඳුලු ගෑස් භාවිතා කිරීමට හැකියාව පවති. 
උද්ඝෝෂණ විසුරුවා හැරීමට කල් ඉකුත් වූ කඳුලු ගෑස් යොදා ගැනීම, උද්ඝෝෂකයින් කොටු කර සහ පුද්ගලිකව ඉලක්ක කර කඳුලු ගෑස් එල්ල කිරීම වැනි ක්‍රියාවන් බොහොමයක් පසුගිය කාලය තුළ වාර්තා වූ අතර පෙබරවාරි 26 වෙනි දින ලිප්ටන් වටරවුමේදි පැවති ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණය පොලිසිය විසින් කඳුලු ගෑස් එල්ල කරමින් විසුරුවා හැරීමේදි එක් පුද්ගලයෙකු මරණයටද පත් විය."
 
මෙරට ඉකුත් වසර 10 තුළ කඳුළු ගෑස් භාවිතය පිළිබඳ සාමජීය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ ඒ්කකය විසින් සිදුකළ පර්යේෂණයක වාර්තාවක් පසුගියදා ප්‍රකාශයට පත්විය. එහි පර්යේෂකයෙකු ලෙස දායකත්වය දැක්වූ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරන මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මෙසේ පවසයි.
 
"කඳුළුගෑස් කියලා හරි , ටියර් ගෑස් කියලා හරි සාමාන්‍යයෙන් කිව්වට මේක ගෑස් එකක් එහෙම නැත්නම් වායුවක් නෙමේ. කඳුළු ගෑස් උණ්ඩ සහ බෝම්බ ඇතුළෙ තියෙන්නේ රසායන සංයුතියක්. ලෝකයේ කඳුළු ගෑස් කියන එක හඳුන්වන්නේ අඩු මාරාන්තික රසායන අවියක් විදිහට. මාරාන්තික නැති රසායන අවියක් නෙමෙයි, අඩු මාරාන්තික රසායන අවියක්. ඒකෙන්ම තේරෙනවා කඳුළු ගෑස් නිසා මරණය අත්වෙන්න පුළුවන් කියලා. 
වසර 10ක් පුරා ලංකාවේ කඳුළු ගෑස් භාවිතය සහ ලෝකයේ තත්ත්වය ගැන අපි සෙවිය යුතුයි කියලා කිව්වම අපේ "ටීම්" එකේ කිසිම කෙනෙක් ඒකට විරුද්ධ වුණේ නෑ. මේකට නිල විදිහට තොරතුරු ගන්න තොරතුරු ඉල්ලීම් 06ක් කරලා අභියාචනා 05කුත් යන්න වුණා."
 
 
කොහොම වුණත් මේ වන විට අදාළ වාර්තාව ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඒ් අනුව වසර 10ක් පුරාවට කල් ඉකුත්වූ කඳුළු ගෑස්, "සංවෘත්ත පරිසරයක කඳුළුගෑස් මුදානොහැරිය යුතුයි"යන පිළිගත් නීති රීති උල්ලංඝණය කරමින් ලංකාවේ මෑත ඉතිහාසයේ සිදුවූ සංසිද්ධි ගැන ගැඹුරින් කියවා ගත යුතුය. මන්දයත් ඒවාට ගොදුරු වන්නේ වැඩකරන පංතියේ අපගේම සොයුරු සොයුරියන්ට. අපගේම දුවා දරුවන්ය. මෙවන් කඳුළු ගෑස් ආඝ්‍රාහනයන්ය ලක්වන්නට විරෝධතා වලට සහභාගි විය යුතුම නැත. මාර්ගය දෙපස, ගොඩනැඟිලි තුළ මෙන්ම කුඩා පාසල් දරුවන් පවා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක්වනු පසුගියදා දැකගන්නට හැකිවිය. මේවායේ කෙටි කාලීන මෙන්ම දිගුකාලීන සෞඛ්‍ය ගැටලු පිළිබඳ තවමත් විධිමත් පර්යේෂණ සිදුව නැත. එවන් තත්ත්වයක මරණ දෙකක් සහ බොහෝ පිරිසක් තවදුරටත් නොයෙකුත් ශ්වසන ආබාධවලට ලක්ව තිබෙන තත්ත්වයක් තුළ මේ පිළිබඳ සියලුදෙනාගේ අවධානය යොමුවිය යුතුය.
 
 
(සම්පූර්ණ වාර්තාව මෙම සබැඳියෙන් ලබාගත හැකිය.  https://rticsr.info/%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b7%85)
 
පී.ඩබ් මුතුකුඩආරච්චි