ශාන්ත විජේසූරියට පහරදීම ගැන වහාම පරික්ෂණයක් කරන්න - මාධ්‍ය සංවිධාන පහක් පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි

media-collective

මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පහර දීම ඇතුළු මාධ්‍යවේදීන්ට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමය යන මාධ්‍ය සංවිධාන පොලිස්පතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පොලිස් නිලධාරීන් විසින් මාර්තු 31දා මිරිහාන, ජුබිලි කණුව මංසන්ධිය අසල පැවති විරෝධතාවක් අතරතුර පහරදීමේ සිදුවීම මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස අපි තරයේ හෙළාදකිමු. 

මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය කටයුතු කරගැනීම සඳහා සහාය වීම නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට බැඳීසිටින පොලිස් නිලධාරීන්ගේ අත්හළ නොහැකි වගකීමක් බව අපි විශ්වාස කරමු. මාධ්‍යවේදීන් ඉලක්ක කොට සිදුකරනු ලබන මෙවැනි ප්‍රහාර යනු ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.

චේතනාන්විතව මාධ්‍යවේදීන් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීම 2022 මාර්තු 31දා සිට සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව අප නිරීක්ෂණය කර තිබේ. තර්ජනය කිරීම්, පහර දීම්, අත්අඩංගුවට ගැනීම් සහ මාධ්‍ය උපකරණවලට අලාබහානි කිරීමේ සිදුවීම් රැසක් මේ කාලය තුළ වාර්තා විය. එම සිදුවීම් පිළිබඳව ඉදිරිපත් කළ පොලිස් පැමිණිලි සම්බන්ධයෙන් වන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව ද සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් දැනට නොමැත. මෙවැනි පහරදීමක සම්පූර්ණ වගකීම අදාළ ස්ථානයේ අණදෙන නිලධාරියා විසින් දැරිය යුතු බව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට පහරදීමේ සිදුවීම පිළිබඳ විමර්ශනයේදී මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ද අවධාරණය කර ඇත. 

මේ තත්ත්වය යටතේ බාධාවකින් තොරව මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු සිදුකරගෙන යෑමට අවස්ථාව සැලසීම මගින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඔබගේ නිශ්චිත වගකීමකි. 

මේ නිසා මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පහරදුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, මෙවැනි අවස්ථාවලදී මාධ්‍යවේදීන් සිය රාජකාරි සිදුකිරීමට අදාළ ව පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙසත් සමස්ත මාධ්‍ය සමාජය නියෝජනය කරන මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස අපි ඔබට අවධාරණය කර සිටිමු.