මාණික්කවාසගම් - 'ලාංකීය දෙමළ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්'

මාණික්කවාසගම් - 'ලාංකීය දෙමළ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්'

ප්‍රවීණ පුවත්පත්වේදී මාණික්කවාසගම්ගේ වියෝවෙන් ඇති වූ හිඩැස කෙදිනකවත් පිරවිය නොහැකි ය. ඔහු සමග බොහෝ කලක් සේවය කළ අපට ඔහුගේ අහිමිවීම දරාගත නොහැකි සිත් වේදනාවක් ඇති කරයි. මිය යන විට ඔහුගේ වයස 77කි.

ලංකාවේ පැවැති වාර්ගික යුද සමයේ වව්නියාව ඇතුළු අනෙකුත් දෙමළ ප්‍රදේශවල බිය වැද්දීම්, තර්ජන, සිර දඩුවම් වැනි කරුණු පසෙක දමා සත්‍ය තොරතුරු බීබීසී හරහා සමාජගත කිරීමට ඔහු ගත් උත්සහයන් අගය කළ යුතුය.

දෙමළ ජනයා ඉලක්ක කරමින් සිදු කළ ප්‍රහාරයන්, පැහැර ගැනීම්, සැලසුම් සහගත ඝාතන, මානව හිමිකම් කඩකිරීම් වැනි සිදුවීම් ඔහු ප්‍රවෘත්ති ලෙස මධ්‍යස්ථව ලබා දුන් ආකාරය මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටි තරුණ ප්‍රජාවට මනා උත්තේජනයක් විය.

බීබීසී දෙමළ සේවයට පමණක් නොව ඉංග්‍රීසි ගුවන් විදුලිය, වෙබ් අඩවිය සහ රූපවාහිනි ප්‍රවෘත්ති සඳහා ඔහු තොරතුරු ලබා දී ඇත. අවස්ථා කිහිපයක දී මරණ තර්ජන එල්ලවූවත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් සිදු නො කර අඛණ්ඩව තොරතුරු ලබා දෙමින් නිර්භයව සිය වෘත්තියේ නියැලීමට ඔහු කටයුතු කළේ ය.

මම 2001 වසරේ ජනවාරි මස බීබීසී දෙමළ සේවයට එක් වුණෙමි. එම කාලයේ දී, මාණික්කවාසගම්ට ඇමතුමක් ගෙන ලංකාවේ වත්මත් තත්ත්වය දැන ගැනීම අපේ දෛනික රාජකාරියක් විය. ඔහුගේ දුරකතන අංකය එම දිනවලට අපගේ මතකයේ රැඳී තිබුණි.

මා වැනි නවක වැඩසටහන් නිෂ්පාදකයන් හට ලංකාවේ වත්මන් තත්ත්වය සහ ඒවායේ වැදගත්කම ඔහු ඉතා ඉවසිලිවන්තව පැහැදිලි කර දුන්නේ ය.

විශේෂයෙන් ම ඕනෑම ප්‍රවෘත්තියක් අප වෙත යොමු කිරීමට ප්‍රථම ඒවා රැස් කිරීමටත්, එහි සත්‍යතාව තහවුරු කිරීමටත් ඔහු දිගු කාලයක් වැය කළේ ය.

එකල කිලිනොච්චිය ඇතුළු වන්නි ප්‍රදේශවල බහුතරයක පාලන බලය එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු විය. එම ප්‍රදේශවලට ගමන් කිරීමට විශේෂ අවසරයක් තිබිය යුතුය.

එය දෙමළ මාධ්‍යවේදීන් බහුතරයක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය පළ කරන පිරිස් බවට ලංකා හමුදාව සැක කළ කාලයකි. එක් අවස්ථාවක එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශය තුළට ගොස් පැමිණියහොත් විවිධ ගැටලු පැන නගිනු ඇත. අදාළ මාධ්‍යවේදියා ආරක්ෂක අංශයේ නිරීක්ෂණයට ලක්වෙයි. මේ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර ප්‍රවෘත්ති සම්පාදනය කළ ආකාරය ඔහුගේ නිර්භය මාධ්‍යකරණය සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා දෙයි.

மானிக்ஸ்

| මාණික්කවාසගම් සමග එත්තිරාජන් අන්බරසන්

ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලන මඩු දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරය, ධීවරයින් මුහුණ දෙන ගැටලු, සෞඛ්‍ය පහසුකම් නොමැතිව ජනතාව විඳින පීඩාවන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පිරිස් මුහුණ දෙන දුෂ්කරතා යන පුවත්, තනි පුද්ගලයෙකු ලෙසින් මාණික්කවාසගම් වසර ගණනාවක් මුළුල්ලේ වාර්තාකරණයේ නියැලුණේ ය.

ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඔහු සිදු කළ වාර්තාකරණය හේතුවෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව එකල ක්‍රියාත්මක් වූ සන්නද්ධ කණ්ඩායම් තුළ අසතුටක් ඇති විය.

ව්‍යාජ චෝදනා ගොනු කරමින් දින කිහිපයකට ඔහු බන්ධනාගාරගත කිරීමට පියවර ගැනිණි.

2005 වසරේ දී ඔහු සමග මා කිලිනොච්චියට ගිය අවස්ථාවේ දී ඔහු මගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ලෙස උනන්දු වූවේ ය. බීබීසී සේවය සමග සිදු කළ රාජකාරී කටයුතුවලින් ඔහු සමුගෙන සිටිය ද අප දෙදෙනා අතර වර්ධනය වූ මිත්‍රත්වය එලෙස ම පැවැතුණි. වසර කිහිපයකට පෙර කිලිනොච්චිය, මන්නාරම යන යුද්ධයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ගොස් යුද්ධය පැවැති සමයේ එහි තත්ත්වය කෙබඳු වීදැ යි අප සිහිපත් කළෙමු.

2009 වසරේ මැයි මස යුද්ධය අවසන් වීමෙන් අනතුරුව අවතැන්වූවන් මුහුණ දුන් ගැටලු, හමුදා ආක්‍රමණ, අතුරුදන්වූවන්, හමුදාවට භාරවූවන්ට අත් වූ ඉරණම යනුවෙන් බොහෝ ප්‍රවෘත්ති අප වෙත ලබා දෙමින් සිටියේ ය.

இலங்கை போர்

2009 වසරේ යුද්ධය උග්‍රව පැවැති සමයක ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කණ්ඩායමක් ශ්‍රී ලංකා රජය විසින් යාපනයට කැටුව යාමට සැලසුම් කර තිබිණි.

අප සියලු දෙනා හමුදාවට අයත් ගුවන් යානකට ගොඩ වීම සඳහා එකපෙළකට වී සිටියෙමු. මා ඉදිරියේ සිටගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතික ජනප්‍රිය මාධ්‍යවේදීනියක් තවත් මාධ්‍යවේදීයෙකු සමග සංවාදයක යෙදී සිටියා ය.

“බීබීසී එක විතරක් කොහොමද යුද්ධය ගැන කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ?” යනුවෙන් එම මාධ්‍යවේදීයා ඇයගෙන් ප්‍රශ්න කළේ ය.

“බීබීසී එකේ මානික්ස් කියලා වව්නියා වාර්තාකරුවෙක් ඉන්නවා. එයාට උතුරේ හැම කෙනෙක් එක්කම හොඳ සබඳතා තියෙනවා. එයාගෙන් තමා හැම ප්‍රවෘත්තියක් ම ලැබෙන්නේ,” යනුවෙන් බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදීනිය පිළිතුරු දුන්නා ය.

මෙය මා මාණික්කවාසගම්ට දැනුම් දුන් විට ඔහු ඉන් බොහෝ සේ සතුටට පත්විය.

යුද තත්ත්වය කුමක් වුවත් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු යි යන ස්ථාවරයේ ඔහු සිටියේ ය. පහරදීම් සහ තර්ජන කිරීම්වලට ලක් වූ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සිය සබඳතා යොදා ගනිමින් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට ඔහු කටයුතු කළේ ය.

இலங்கை போர்

මා මාණික්කවාසගම්ගේ දායකත්වය මේතරම් සුවිශේෂයැ යි සලකනු ලබන්නේ, ඔහු ලංකාවේ පැවැති වාර්ගික යුද්ධය පෙරමුණේ සිට දුටු අයෙකු වන හෙයින් ය. ඔහු ඉදිරිපත් කළ ගුවන් විදුලි සහ වෙබ් අඩවි ප්‍රවෘත්ති සම්බන්ධයෙන් අඛණ්ඩ අධ්‍යයනයක නිරත වන්නේ නම් මෙම යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා අවබෝධයක් ලබාගත හැකි ය.

බීබීසී සේවයට ප්‍රවෘත්ති ලබා දීමට අමතරව, මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ හෙළිදරව් කිරීමට කටයුතු කළ ඉංග්‍රීසි මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් සංවිධානවල තිරයේ පිටුපස සිටි පුද්ගලයා වන්නේ ද ඔහු ය. මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් මා ලියූ ලිපිවල සහ සාකච්ඡාමය වැඩසටහන්වලට පිටුපසින් සිටි පුද්ගලයා ලෙස ද මාණික්කවාසගම් හඳුන්වා දිය හැක.

යුද්ධය හේතුවෙන් අවතැන් වෙමින් සිටින ජනතාවට මානුෂීය සංවිධාන විසින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තෝරාගත් ස්ථානයක බෙදහරින බවට වන ප්‍රවෘත්තිය ලෝකයේ අනෙකුත් රටවල් සහ ලංකා - ඉන්දිය වැඩසටහන් හේතුවෙන් ප්‍රචාරය කිරීමට නොහැකි බව කියූ විට, “යුද්ධයෙන් බලපෑමට ලක්වෙලා ඉන්න ගොඩාක් අය බීබීසී ප්‍රවෘත්ති අහනවා. ඒ නිසා මේ ප්‍රවෘත්තිය මිනිසුන් දහස් ගණනකට ප්‍රයෝජනවත් වෙයි,” යනුවෙන් ඔහු ඉල්ලා සිටි විට, යුද්ධයෙන් බලපෑමට ලක්ව සිටින ජනයා කෙරෙහි ඔහු කෙතරම් උනන්දුවෙන් කටයුතු කරනවාදැ යි මා හට අවබෝධ විය. උතුරේ සංචාරයක නිරත වන විට ඔහු දෙමළ ජනයාගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකු ලෙස මම දැනගත්තෙමි.

මා බීබීසී දෙමළ සේවයෙන් ඉවත් ව බීබීසී ඉංග්‍රීසි පුවත් සේවය සමග එක් වුවත්, මා සහ ඔහු අතර පැවැති සබඳතාව අඛණ්ඩව තිබුණි. එමෙන් මා විසින් සම්පාදනය කරනු ලැබූ ලිපි සහ ඉදිරිපත් කරන වැඩසටහන් සම්බන්ධයෙන් නිතරම ඔහු ප්‍රශංසාත්මකව කතාකර මා තවදුරටත් උනන්දු කරවීමට කටයුතු කළේ ය. ලංකාවේ වාර්ගික යුද වාර්තාකරණයේ දී මානික්ස්ගේ භූමිකාව සුවිශේෂී ය.

இலங்கை

| යුද තත්ත්වය කුමක් වුවත් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු යි යන ස්ථාවරයේ ඔහු සිටියේ ය

2021 වසරේ දෙසැම්බර් මාසයේ දී වව්නියාවේ පිහිටි ඔහුගේ නිවසේ දී අවසන් වරට මම ඔහු හමු වුණෙමි. ඒ වනවිට ඔහු සැත්කමකට මුහුණ දීමෙන් අනතුරුව සුව වී සිටියේ ය. එය කොවිඞ් ව්‍යාප්තිය සිදු වෙමින් පැවති කාලයකි. එහෙත් එය ඔහුව හමුවන අවසන් අවස්ථාව වනු ඇතැ යි මා සිතුවේ නැත.

මාණික්කවාසගම්ගෙන් අප බොහෝ දෑ ඉගෙනගත්තෙමු. අපගේ ජීවිත ඒකාලෝකමත් කළ පහනක් ලෙස ඔහු සිටියේ ය. ඔහු මාධ්‍ය වෘත්තියෙන් ඔබ්බට ගිය මානවවාදියෙකි.

යුද්ධයෙන් බලපෑමට ලක් වූ බොහෝ අයට ඔහු සහාය වී ඇත. යම් අයෙකුට ලංකාවේ උතුරු ප්‍රදේශයට යාමට අවශ්‍ය නම් අප ප්‍රථමයෙන් අමතනු ලබන්නේ ද ඔහුට ය. “ඔයාලා එන්න මම බලාගන්නම්,” යනුවෙන් ඔහු පිළිතුරු දෙයි.

රෝගාතුර වීමට වසර කිහිපයකට පෙර ද ඔහු සිය කාර්යයන් ඉතා කඩිසරව සිදු කරමින් සිටියේ ය. මාණික්කවාසගම්ගේ අභාවය සහස්‍රයක අවසානයක්යැ යි පැවසීමට හැකිය.

(අන්බරසන් එත්තිරාජන්, Role,දකුණු ආසියානු බීබීසී සංස්කාරක, sandeshaya)