ඇමති සහ නිලධාරීන්ගේ ටෙන්ඩර් වලට කඹ ඇදීමෙන් ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ හිඟයක් නිර්මාණය වන ලකුණු

ඇමති සහ නිලධාරීන්ගේ ටෙන්ඩර් වලට කඹ ඇදීමෙන් ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ හිඟයක් නිර්මාණය වන ලකුණු
  • රුපියල් මිලියන 500 ක් වැඩිපුර ගෙවා ප්‍රතිජීවක ඖෂධයක් මිලදී ගැනීමේ සූදානම ගැන වහා පරීක්ෂණ පවත්වන්න.
  • කබරගොයා තලගොයා කරන සෞඛ්‍ය අමාත්‍යාංශය.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ජනාධිපතිගෙන් ඉල්ලයි.

නිසි ප්‍රසම්පාදන ක්‍රියා මාර්ග අනුගමනය කරමින් කල් ඇතුව සැලසුම් සකස් කොට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඖෂධ මිලදී ගැනීම සිදු කරනවා වෙනුවට විටින් විට විවිධ ඖෂධ හිග නිර්මාණය වීමට ඉඩ සැලැස්වීම හරහා නියමිත ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග වලින් පරිබාහිරව ද ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ කිරීම නිසා ප්‍රතිජීවක ඖෂධ හිඟයක් පවා නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි ද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

පසුගිය වර්ෂයේ ආරම්භයේ සිට ම ඖෂධ හිඟය ඇති වීම සම්බන්ධයෙන් තම වෘත්තීය සමිති සන්ධානය කළ අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් ද බොහෝ නිලධාරීන් අමාත්‍යවරයාට වැරදි සහගත තොරතුරු ලබාදීම හරහා දේශපාලකයින් නොමඟ යැවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වූ බවත් පසුව ඒ අන්දමින් නිර්මාණය වූ ඖෂධ හැඟීම් ප්‍රතිඵලයක් ලෙස නිසි ක්‍රමවේදයන්ගෙන් මිලදී ගැනීම වෙනුවට හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය භාර දේශපාලකයන් උත්සුක වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වෙමින් පවතින බවත් එසේම එසේ ගෙන ඖෂධ වැඩි ප්‍රමාණයක් ගුණාත්මක භාවය අඩු වීම සම්බන්ධව ප්‍රශ්න පැන නැගීම නිසා මෙරට ජනතාවගේ බදු මුදල් සහ මෙරට ජනතාවට ලැබෙන විදේශ ණය හා ආධාර විනාශවී යාමේ ප්‍රවණතාව වැඩි වෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට cefuroxime. කාණ්ඩයේ ප්‍රතිජීවක ඖෂධ ලක්ෂ 25 ක එන්නත් තොගයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කොට ඇති බවත් ඩොලර් සත විසිපහට මිලදී ගැනීම සඳහා ඉදිරිපත්වූ සමාගම වෙනුවට ඩොලර් සත 75 කට ඉදිරිපත්වූ සමාගමට ටෙන්ඩර් ලබාදීම සඳහා අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේදැයි සැකයක් නිර්මාණය වන අන්දමට සෞඛ්‍ය කටයුතු කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

අඩු මුදලට ඖෂධ ලබාදීමට ඉදිරිපත් වී ඇති සමාගමේ හරහා මීට පෙර අදාළ එන්නත් අනුදහසකට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අතර අදාල එන්නත් ලක්ෂ 25 ක ප්‍රමාණය මිලදී ගැනීමේදී අඩු මුදලට ලබා දී ඇති සමාගම හා ගුණාත්මකභාවය ප්‍රශ්න කරමින් එකවරම වැඩි මුදලට ලබාදෙන සමාගම නිර්දේශ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් කමිටු ක්‍රියාත්මක වන්නේ ඇයිදැයි ප්‍රශ්න කළේය.

අදාල ප්‍රශ්න සහගත ගනුදෙනුවෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ප්‍රසම්පාදන අභියාචනා කමිටුව වෙත සම්බන්ධව නිර්දේශය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වන අතර අදාළ නිර්දේශය කැබිනට් මණ්ඩලයට යොමු කොට ක්‍රියාත්මක කරනවා වෙනුවට අමාත්‍යවරයා වැඩි මුදලට ටෙන්ඩර් ලබාදීමට උත්සුක වන්නේ නම් ජනාධිපති වරයා සෘජුව මැදිහත් වී මේ ගනුදෙනුව ගැන විමර්ශනය කළ යුතු බවද ඒ මහතා පැග අවධාරණය කළේය.

මීට පෙර ශ්‍රී ලංකාවට හදිසි ඖෂධ මිලදී ගැනීමේදී ඖෂධවල ගුණාත්මක භාවය විද්‍යාත්මකව පරික්ෂා කිරීමට වේලාවක් නොමැති බැවින් ලිපිගොනු පරීක්ෂාවෙන් පමණක් ඖෂධ ගැනීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා හා ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කළත් මෙම ප්‍රශ්න සහගත ගනිමින් ගනුදෙනුවේදී ඖෂධ නියාමන අධිකාරිය රසායනාගාර වාර්තා වලට ප්‍රබලතාවක් ලබාදිය යුතු බවට නිර්දේශ නිකුත් කිරීම අවශ්‍ය වූ විට කබරගොයා තළගොයා කර ගැනීමක් යැයි ද පැවසීය.

දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ වංචා අක්‍රමිකතා සම්බන්ධයෙන් වෘත්තීය සමිති පෙන්වා දෙන නමුත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධව නිසි අවධානයක් යොමු නොකිරීම කනගාටුදායක බවද සඳහන් කළේය.