මොණරාගල දිස්ත්‍රික් සමෘද්ධි පරිපාලන ගොඩනැගිල්ල විදේශ කටයුතු අමාත්‍යාංශයවෙත පවරා දීමට විරෝධය

මොණරාගල දිස්ත්‍රික් සමෘද්ධි පරිපාලන ගොඩනැගිල්ල විදේශ කටයුතු අමාත්‍යාංශයවෙත පවරා දීමට විරෝධය

කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ වු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු සමෘද්ධි නිලධාරීන් හා සියලු ප්‍රජාවගේ සියලු පරිපාලන කටයුතු සිදු කරන දිස්ත්‍රික් සමෘද්ධි කාර්ය්‍යාලයීය ගොඩනැගිල්ල හා අලුතින් ඉදිකරන ලද සමෘද්ධි සුව බොජුන්හල් පරිශ්‍රය මනූෂ නානයක්කාර අමාත්‍යවරයාට අයත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය වෙත පවරා දීම සම්බන්ධව කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමයේ විරෝධය හා අප්‍රසාදය ප්‍රකාශ කර සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හා කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද 2022.11.30 දිනැති ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 38/2022  අනුව මොණරාගල දිස්ත්‍රික් ලේකම්ගේ අත්සනින් යුත් මොණරාගල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ වෙත එවන ලද MO/DS/LND 02/06/04 දරණ 2023.06.05 දිනැති ලිපිය මගින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා සමෘද්ධි කාර්යාලය ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇති අතර එය ඔබගේ විශේෂ අවදානයට මෙයින් යොමු කරවන්නෙමු.

මොණරාගල හුලංදාව මංසන්ධියේ ඇති මෙම ගොඩනැගිල්ල සහිත භූමිය තුල එළඹෙන සතියේ විවෘත කිරීමට කටයුතු කර ඇති සමෘද්ධිලාභීන්ගේ නිෂ්පාදනයන් අලෙවි කරන සමෘද්ධි සුව බොජුන්හලක් හා අලෙවි මධ්‍යස්තානය ඉදිකිරීමට සමෘද්ධි අරමුදලින් රු.12,857,422,52 ක විශාල මුදලක් වියදම් කර ඇත. එම මුදල් මෙම තීරණය හමුවේ අපතේ යාමක් සිදුවන හෙයින් එම නාස්තිය සම්බන්ධව වගකියන්නේ කවර පුද්ගලයෙක්ද යන්න අප මෙයින් ප්‍රශ්න කර සිටින්නෙමු.

යෝජිත අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම අනාගත දේශපාලන අරමුණක් ඔස්සේ සමෘද්ධි වැඩසටහන ස්වාභාවික මරණයකට පත් කිරීමක් යන අනාවැකිය අප සංගමය මීට පෙර ප්‍රකාශ කර ඇති අතර අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වීමටත් පෙර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතු දේපල වෙනත් අමාත්‍යාංශ වෙත පවරා දීමට ආණ්ඩුව කටයුතු කිරීම අපගේ අනාවැකිය තවත් සපත කිරීමක් බව අප සංගමය මෙයින් පෙන්නා දෙන්නෙමු.

උක්ත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ සමෘද්ධි දෙපාර්තමේන්තුවට මොණරාගල දිස්ත්‍රික් සමෘද්ධි අංශය ස්ථාපිත ගොඩනැගිල්ල කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය වෙත පවරා දීමේ තීරණය වහා අත්හිටුවීමට මැදිහත්වන මෙන් මෙයින් ඉල්ලා සිටින්නෙමු.