මසකට විසිපන්දහසකට වැඩකාරකමට වික්ක තරුණියක් මාරාදාලා

මසකට විසිපන්දහසකට වැඩකාරකමට වික්ක තරුණියක් මාරාදාලා

රුපියල් විසිපන්දහසක මාසික කුලියකට නිවසක මෙහෙකාරකමට ලබාදුන් වයස අවුරුදු 17 ක තරුණියකගේ මළසිරුර එම නිවසින් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලිසිය පෙරේදා (26) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙසත්, අපරාධකරුවන් වහාම අත් අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසත් උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී. එම්. එස්. චාර්ල්ස් මහත්මිය යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැණුම්දී තිබේ.

යාපනයේ වඩුක්කෝඩෙයි මුදලියාර් කෝවිල් අඩි ප්‍රදේශයේ නිවසක සිටි දාහත් හැවිරිදි කේතීස්වරන් ධර්මිකා නමැති තරුණියක්, අධ්‍යාපන කටයුතුවල නිරත වීමට ආර්ථික ශක්තියක් නොමැති නිසා ඇයගේ මව විසින් යාපනයේ නිවසක මෙහෙකාරකමට ලබා දී ඇත.

නිවසේ හිමිකරු මාසික කුලිය වශයෙන් රුපියල් 25000 ක මුදලක් ලබාදීමට පොරොන්දු වූවත් ඇයට මාසයකට ලබාදී ඇත්තේ රුපියල් 5000 ක් පමණක් බවද පැවසේ.

මවට දරුවා බැලීමට යෑම තහනම් කළ හාම්පුතා දුරකතනය ඔස්සේ මසකට විනාඩි තුනක කාලයක් පමණක් මවට කතා කිරීමට අවස්ථාව ලබාදී තිබූ බවද වාර්තා වේ.

මාස හතරකට පමණ පසුව එසේ දුරකතනයෙන් කතා කිරීමටද ඉඩක් ලබා නොදුන් හාම්පුතා නියමිත පරිදි වැටුප්ද ගෙවා නොමැති බව පැවසේ.

අවසානයේදී ඇය මියගොස් ඇති බවට පණිවුඩයක් දැරියගේ මවට ලැබීමෙන් පසුව මරණය පිළිබඳව තමන්ට විශාල සැකයක් පවතින බව දැරියගේ මව යාපනය පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේමකුමාර් නාමසිවායම් මහතා එම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී මියගිය අයගේ ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරික්‍ෂකවරයා වෙත යවා තිබේ.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

(sri lanka mirror)