විශ්‍රාමික සමෘද්ධි නිලධාරීන් පිරිසකට විශ්‍රාම වැටුප් ගෙවලා නෑ

විශ්‍රාමික සමෘද්ධි නිලධාරීන් පිරිසකට විශ්‍රාම වැටුප් ගෙවලා නෑ

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ විශ්‍රාමික නිලධාරීන් කණ්ඩායමක් වෙනුවෙන් විශ්‍රාම වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ අවධානය.

සමෘද්ධි නිලධාරීන්ට පැවරෙන කාර්යයන් ඉටුකිරීම සහ නිශ්චිත රාජකාරී ඉලක්ක ලබාදීම පිළිබඳ අවධානය

අස්වැසුම වැඩසටහන සහ සමෘද්ධි වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමේ ආකාරය පිළිබඳ අවධානය

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ විශ්‍රාමික නිලධාරීන් කණ්ඩායමක් වෙනුවෙන් විශ්‍රාම වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ අවධානය යොමු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 2023.05.26 දින කෝපා කමිටුවට කැඳවා ලබාදුන් නියෝගවල වර්තමාන තත්ත්වය සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී 2023.05.26 දින කෝපා කමිටුව රැස්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ පත්වීම් ලබාගත් දිනසිට විශ්‍රාම වැටුප් හිමිකම් සහිත නිලධාරීන් කණ්ඩායමක් වෙනුවෙන් විශ්‍රාම වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර මේ පිළිබඳ එදින ලබාදුන් නිර්දේශ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සිදු විය. නමුත් එම නිර්දේශ සම්බන්ධයෙන් ප්‍රමාණවත් විසදුම් ලැබී නැති බව නිරීක්ෂණය වන බව මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේය. එසේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පරිපාලන ගැටලු නිරීක්ෂණය වන බවද මන්ත්‍රීවරු පෙන්වා දුන්නේය.

තවද මෙම විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීරණය ක්‍රියාත්මක නොවීම පිළිබඳවද මෙහිදී කෝපා කමිටුව ප්‍රශ්න කළේය. මේ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන්  නීතිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය.

මෙහිදී කෝපා කමිටු සභාපතිවරයා සඳහන් කළේ නීතිපතිවරයාගේ උපදෙස් අනුව මේ කරුණ සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බවයි. මේ අනුව මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සමගද සාකච්ඡා කොට 2023 සැප්තැම්බර් 01 දිනට පෙර පිළිතුරු කෝපා කමිටුව වෙත එවන ලෙස නිර්දේශ කළේය. එසේම මෙම දෙපාර්තමේන්තුව සතු අනුමත සේවක සංඛ්‍යාව සම්බන්ධ ගැටලුව පිළිබඳව ද තීරණයක් මේ මස 16 දිනට පෙර අමාත්‍යාංශ ලේකම්වෙත යොමු කරන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට කෝපා කමිටුවේ සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.

එසේම සමෘද්ධි නිලධාරීන්ට පැවරෙන කාර්යයන් ඉටුකිරීම සහ නිශ්චිත රාජකාරී ඉලක්ක ලබාදීම පිළිබඳව අවධානය යොමුකරන ලෙසද මෙහිදී කෝපා කමිටුව පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. තවද කලාප සහ ප්‍රාදේශීය මට්ටමෙන් සිටින සමෘද්ධි නිලධාරීන් වෙනුවෙන් ඉලක්ක ලබාදී කාලානුරූපීව එම කටයුතු ඉටුකිරීම පිළිබඳ නිරීක්ෂණය කොට වාර්ෂ අවසානයේ ඇගයීමක් සිදු කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද කෝපා කමිටුවේ සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

තවද අස්වැසුම වැඩසටහන සහ සමෘද්ධි වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමේ ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් සහනාධාරය ලබාදීම අස්වැසුම වැඩසටහන මගින් සිදු වන බවත් මෙම අඩු ආදායම් ලාභීන් සවිබල ගැන්වීම සමෘද්ධි වැඩසටහන මගින් සිදු වන බවත් මෙහිදී සඳහන් විය. මේ නිසා මෙම වැඩසටහන් දෙකම ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කෝපා කමිටුව පෙන්වා දෙන ලදි.

මීට අමතරව සමෘද්ධි බැංකුවල කාර්යභාරය සම්බන්ධයෙන් සහ අස්වැසුම සහනාධාරය සමෘද්ධි බැංකු හරහා ලබාදීමේ හැකියාව සලකා බැලීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

(srilanka Mirror)