ඇන්ටන් මාකස් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ලිපියක් ලියා, කොමිසමට ගිහින් අදහස් දක්වයි

ඇන්ටන් මාකස් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ලිපියක් ලියා, කොමිසමට ගිහින් අදහස් දක්වයි

2023 වර්ෂයේ තෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීමට අදාළව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම කරුණු දක්වමින් ලිපියක් යොමු කරමින් ඊට අදාළව කොමසම ඉදිරියේ විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව කරුණු දක්වා ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

           

2023 ඔක්තෝම්බර 18 වන දින

සභාපති මහාචාර්ය එම්.ඒ.ආර්.එම්. ප්‍රනාන්දු

සහ අනෙක් සියලු සභිකයින් වෙත

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම

06 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ,

අංක 28, ශාන්ත මයිකල් පාර,

කොළඹ 03.

2023 වර්ෂයේ තෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීමට අදාලවය

ඉහතින් දැක්වෙන කාරණාව සම්බන්ධව මහජන අදහස් විමසීමට ප්‍රතිචාර වශයෙන් අද දින වාචිකව දැක්වූ අදහස් සනාථ කිරීමක් ලෙස මෙය යොමු කරන්නෙමු. මෙරට විදුලිය පාරිභෝගිකයින් අතුරින් විශාලම හා වැදගත්ම පාර්ශවකාර ක්ෂේත්‍රයට අපිද අයත් වෙමු.

මහජන අදහස් විමසීමේදී ඊට අදාල ලේඛන කිසිවක සිංහල හෝ දෙමළ පරිවර්තන ඔබ ආයතනය විසින් ලබාදී නොමැති හෙයින් මගේ පරිවර්තනයට අනුව, ඔබගේ 2023 සැප්තැම්බර 28 වන දින ලිපියෙහි සඳහන් වන්නේ පාර්ශවකරුවන්ගෙන් අදහස් විමසීම් කෙරෙන්නේ “2023 ජූලි - දෙසැම්බර කාලය සඳහා ඇස්තමේන්තුගත වැය වැඩිවීම පියවා ගැනීමට විදුලිබල මණ්ඩලය ගාස්තු ප්‍රතිසංශෝධනය කිරීම වෙනුවෙන්” ඉදිරිපත් කර ඇති ඉල්ලීම පදනම්ව ය. එකී ලිපියෙහි සඳහන් අනෙක් කාරණාව නම්, “ඇමති මණ්ඩල කාර්යාලයෙන් ඇමති මණ්ඩලයේ තීන්දුව සම්බන්ධව වෙනත් කාරණා වලට අමතරව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට දන්වා ඇත්තේ (අ) වියදම් පියවා ගැනීමේ ගාස්තු නියම කිරීමේ විධික්‍රමයට අනුව ලං.වි.ම විසින් ඉදිරිපත්කර ඇති යෝජනාව වහා සළකා බලන ලෙස සහ (ආ) 2024 ජනවාරි සඳහා කාල නිර්ණයකර ඇති ගාස්තු ප්‍රතිසංශෝධනය සියලු වියදම් පියවා ගැනීම වෙනුවෙන් 2023 ඔක්තෝම්බර වෙත ඉදිරියට ගෙනෙන ලෙස ය.”

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අමතා 2023 සැප්තැම්බර 04 වන දිනයේ ලං.වි.ම ලියූ පළමු ලිපියෙහි ඔවුන් විදුලිය ගාස්තු වැඩි කිරීම වෙනුවෙන් (1) ජලවිදුලි ජනනය පහත වැටීම (2) විදුලිය සඳහා ඉල්ලුම ඉහළ යාම සහ (3) විදුලි ඉල්ලුම වෙනුවෙන් විදුලිබලය ජනනය සඳහා අමතර වියදම් පියවා ගැනීමේ අවශ්‍යතාව යැයි හේතු කාරණා 03 ක් දක්වා ඇත.

ලං.වි.මට අනුව, ඔවුන් සියයට 3.15 ක ගාස්තු අඩු කිරීමක් යෝජනාකර තිබියදී උපයෝගිතා කොමිසම විසින් සියයට 14.2 ක විදුලිය ගාස්තු අඩු කිරීම හේතුවෙන් 2023 වසර සඳහා වැය පියවීමේදී රුපියල් බිලියන 33 ක හිඟයක් ඇතිව තිබේ. මෙහිදී සටහන් කළ යුත්තේ මෙම සියයට 14.2 ක ගාස්තු අඩු කිරීම කෙරෙන්නේ 2022 අගෝස්තුවෙහි සියයට 75 ක සහ ඉන් මාස 06 ට පසු 2023 පෙබරවාරියේ සියයට 65 ක ගාස්තු වැඩි කිරීම් වලින් පසුව බවය.

මේ අතර දින දෙකකට පෙර 2023 ඔක්තෝම්බර 16 වන දින ඉංග්‍රීසි පුවත් පතක වාර්තාවකට අනුව ඔබ කොමිසම විසින් ඉකුත් 13 වන දින ලංවිම වෙත යොමු කර ඇති ලිපියකට අනුව, ලංවිම විසින් පෙර සිදු කරනු ලැබූ ඇස්තමේන්තු තව දුරටත් වලංගු නොවන හෙයින් නැවත අද 18 වන දිනට පෙර සංශෝධිත ඉල්ලීමක් කරන මෙන් දන්වා අත. එයට හේතු ලෙස දක්වා ඇත්තේ කලින් දැක්වූ ඇස්තමේන්තුගත ජලවිදුලිය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ආසන්න වර්ෂා හේතුවෙන් ලබා ගැනීමට ඇති හැකියාව සහ ගල් අඟුරු මිල පෙර දක්වා ඇති මිල ගණන් වලට වඩා අඩු මිලකට ලබා ගත හැකි වීම යැයි සඳහන් කිරීමය.

පළමුවෙන්ම කිව යුත්තේ ලංවිම දූෂණ වංචා, නාස්තිය හා අකාර්යක්ෂමතා නිසා විදුලි ජනනයේදී ඉහළ යන වියදම වෙනුවෙන් වැඩිපුර ගාස්තු ගෙවන්නට පාරිභෝගිකයා බැඳී නොමැති බවය.

දෙවැනුව කිව යුත්තේ එවැනි හේතු මත වැඩි කෙරුණු ලංවිම වියදම පියවා ගැනීම සඳහා වැඩි කරනු ලැබූ විදුලිය ගාස්තු වල සෘජු ප්‍රතිපලයක් වශයෙන් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි සියලු වියදම් විශාල වශයෙන් ඉහළ නැගිනු බවය. අපනයන නිෂ්පාදකයින්ට පෙර ඇණවුම් සඳහා ඉදිරිපත් කළ මිල ගණන් තව දුරටත් ඉදිරිපත් කළ නොහැකි විය. ඉන් සිදුව ඇත්තේ ඔවුන්ට බංගලාදේශය, වියට්නාමය වැනි වෙනත් රටවල නිෂ්පාදකයින් හා තරග කළ නොහැකි වීමය. එහි පලවිපාක අලුතෙන් කිව යුතු නැත. ඇතැම් කර්මාන්ත ශාලා වසා දමන්නට සිදුවීමෙන් රැකියා දහස් ගණනින් මේවන විටත් අහෝසිවී ඇත. ඇතැම් කර්මාන්ත හිමියන් සේවක කාණ්ඩ සඳහා මූලික වැටුපෙන් සියයට 50 ක් ලබා දෙමින් ඔවුන් සේවයට නොකැඳවන්නාහ. මෙවර යෝජනා කෙරෙන සියයට 22 ක විදුලිය ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මක කෙරුණහොත් දහස් ගණන් සේවකයින්ට රැකියා අහිමි වනු ඇත.

එවැනි දහස් ගණනින් රැකියා අහිමි කිරීමේ සහ සාමාන්‍ය පාරිභෝගිකයාගේ ජීවන වියදම තව දුරටත් දැරිය නොහැකි ලෙස බහුතර ජනතාවක් අතරමං කිරීමේ විදුලිය ගාස්තු වැඩි කිරීමක් සඳහා තීන්දු ගැනීමට පෙර, පාරිභෝගිකයින් ලෙස අප දැන සිටිය යුතු නමුත් මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති පහත සඳහන් කාරණා පැහැදිලි කළ යුතු යැයි අපි බල කරන්නෙමු.    

1. මෙම 2023 වසර සඳහා ලං.වි.ම සමස්ථ වැය දැක්වෙන්නේ රුපියල් බිලියන 645.25 ක් වශයෙනි. ආදායම දැක්වෙන්නේ රුපියල් බිලියන 612.74 ක් වශයෙනි. මේ රුපියල් බිලියන 645.25 ක වැය සංයුතිය කුමක්ද? වියදම් වන්නේ මොනවා වෙනුවෙන්ද?

2. වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ ජලවිදුලි ජනනය පහළ වැටීමෙන් 2023 වසරේ ලබා ගත හැකි ජලවිදුලිය ප්‍රමාණය ගිගාවොට් පැය 3,750 ක් යැයි සඳහන් කරනමුත් ඒ හේතුවෙන් අහිමිවන ආදායම සහ එළෙස අඩුවන ජලවිදුලි බලය සඳහාවන ආදේශන වෙනුවෙන් වැය වන අමතර මුදල කෙතරම්දැයි සඳහන් නොකරන්නේය. ඒ අමතර මුදල කොපමණද?

3. දෛනික විදුලි පරිභෝජනය වැඩිවීම සාමාන්‍යයෙන් ගිගාවොට් පැය 43.5 ක් යැයි සඳහන් වේ. එය සනාථ කිරීමේ වැදගත් සාධක එනමුත් නැත. ලං.වි.ම කියන්නාවූ විදුලිය ඉල්ලුම වැඩි වන්නේ කෙසේදැයි පැහැදිලිව සනාථ කළ යුතුය.

එවැනි හේතු කාරණා සමග, විදුලිය පාරිභෝගිකයින් වශයෙන් සියලු විස්තර හා තොරතුරු දැන ගැනීමේ සම්මුති විරහිත අයිතියක් ඇති අපට පහත විස්තර සියල්ල ලං.වි.ම විසින් ලබා දෙන තෙක් විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සඳහා කිසිදු අවසරයක් නොදෙන මෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමෙන් අපගේ වෘත්තීය සමිති සාමාජිකත්වය සහ පොදුවේ සියලු පාරිභෝගිකයින් වෙනුවෙන් අපි ඉතා දැඩිව ඉල්ලා සිටිමු. එකී විස්තර මෙලෙස ය.

1. අනුමත සම්මත සේවක සංඛ්‍යාවට අමතරව සේවයේ ඉන්නා සේවක සංඛ්‍යාවත් ඔවුන්ගේ සේවා කාණ්ඩ හා ශ්‍රේණිත් ඔවුන් නඩත්තු කිරීම සඳහා 2023 වසරේ පළමු අර්ධයෙහි වැය කෙරුණ මුදල,

2. මාසික අතිකාල වියදම, ගෙවනු ලබන සියලු දීමනා පිළිබඳ විස්තර සහ මාණ්ඩලික සේවකයින් සඳහා වැය වන ඉන්ධන වියදමට අමතරව, කල්බදු ක්‍රමයට ඔවුන්ට වාහන ලබා දෙන්නේ නම් ඒ සඳහා 2023 වසරේ පළමු අර්ධයෙහි වැය වූ මුදල,

3. ලං.වි.ම විසින් තම සේවා කටයුතු  පවරා ඇති පෞද්ගලික සමාගම් ලේඛනය, ඔවුන් තෝරා ගැනීමේ නිර්ණායක සහ ක්‍රියාවලිය සමග 2023 වසරේ පළමු අර්ධයෙහි ඔවුන් සඳහා වෙන් වෙන් වශයෙන් ගෙවූ මුදල,

4. 2030 වසර වනවිට සමස්ථ විදුලිබල උත්පාදනයෙන් සියයට 50 ක් පුණර්ජන බල ශක්ති මගින් විය යුතු යැයි “2019 - විදුලිබල කර්මාන්තය සඳහා පොදු මාර්ගෝපදේශ ප්‍රතිපත්ති” අනුව ශ්‍රී ලංකා විදුලිබල පනතේ 05 වන වගන්තිය ප්‍රකාරව කරනු ලැබූ දැන්වීමෙහි වත්මන් තත්ත්වය,

5. වසර 2018 වනවිට අලුතින් එකතු කළ යුතුව තිබූ සුළු ජලවිදුලි උත්පාදන මගින් මෙ.වො 15, සූර්ය බලශක්ති මගින් මෙ.වො 160, ඝණ ජෛව ද්‍රව මගින් මෙ.වො 05 සහ ඛනිජ තෙල් පදනම් උත්පාදන මගින් මෙ.වො 320 ට අමතරව, “2018 - 2037 දිගු කාලීන විදුලි උත්පාදන ව්‍යාප්ති සැළසුම” අනුව බැර ජලවිදුලි උත්පාදන මගින් මෙ.වො 842 ක්ද, සුළු ජලවිදුලි උත්පාදන මගින් මෙ.වො 215 ක්ද, සූර්ය බලශක්ති මගින් මෙ.වො 1,389 ක්ද සුළං මගින් මෙ.වො 1,205 ක්ද, ඝණ ජෛව ද්‍රව මගින් මෙ.වො 85 ක්ද, ඛනිජ තෙල් පදනම් උත්පාදන මෙ.වො 425 ක්ද, ස්වාභාවික වායු මගින් මෙ.වො 1,500 ක්ද, ගල් අඟුරු මගින් මෙ.වො 2,700 ක්ද විදුලිබල පද්ධතියට එකතු කිරීමේ ව්‍යාපෘති සම්බන්ධ වත්මන් තත්ත්වය,

6. ලං.වි.ම විසින් විදුලිය මිලට ගන්නා පෞද්ගලික සමාගම් ලේඛනය සමග 2023 වසරේ පළමු අර්ධයෙහි ඔවුන්ට ගෙවනු ලැබූ මුදලත් විදුලිය ඒකකයක් මිලට ගන්නා මිල තීන්දු කිරීමේ ක්‍රියාවලිය හා අවසන් තීන්දුව ගැනීමේ බලය ඇත්තේ කාටද යන්නත් සම්බන්ධ විස්තර,

7. මාස 02 ක් හෝ ඊට වැඩි කාලයක් විදුලි බිල් නොගෙවූ දැනට පාර්ලිමේන්තුවේ ඉන්නා සහ නොඉන්නා දේශපාලකයින්ගේත්, පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ සහ ව්‍යාපාරික ආයතන වලත් නාම ලේඛනය හා ඔවුන්ගෙන් අය විය යුතු හිඟ මුදල සහ ඔවුන්ට එරෙහිව ගෙන ඇති පියවර.

ඉහත කාරණා සියල්ල ලං.වි.ම වාර්ෂික අය සහ වැය තීන්දු කෙරෙන සාධක බැව් ඔබද පිළිගන්නවා ඇත. එබැවින් මේ මොහොතේ විදුලිය ගාස්තු ප්‍රතිසංශෝධනය කිරීම වෙනුවෙන් එකඟ වන්නට පෙර, ඒ සම්බන්ධ සියලු විස්තර ලබා ගැනීමේ පරම අයිතියක් පාරිභෝගිකයින්ට ඇත.

එබැවින් ඉහත සියලු විස්තර හා තොරතුරු ලං.වි.ම විසින් ලබා දෙන තුරු ගාස්තු ප්‍රතිසංශෝධනයකට අවසර නොදෙන්න යැයි වන ඉල්ලීම සඳහා සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.