හැටන්, 'නෝවුඩ් ෆැෂන්' සමාගමේ සේවකයින් හිඟ පඩි ඉල්ලා විරෝධයක 

හැටන්, 'නෝවුඩ් ෆැෂන්' සමාගමේ සේවකයින් හිඟ පඩි ඉල්ලා විරෝධයක 

මාස තුනක කාලයක සිට වසා දමා තිබෙන කඳුකරයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී, හිඟ වැටුප් හා බෝනස් මුදල් ගෙවන ලෙස බලකරමින් එහි සේවය කළ කම්කරුවන් පිරිසක් විරෝධයක් දියත් කර තිබේ.

හැටන්, නෝවුඩ් හි පිහිටි නෝවුඩ් ෆැෂන් පුද්ගලික සමාගමේ ඇගළුම් කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී ඔක්තෝබර් 23 වැනි සදුදා විරෝධතා දියත් කළ කම්කරු කාන්තාවක් සදහන් කළේ, අගෝස්තු මාසයේ සිට මේ දක්වා කර්මාන්තශාලාව වසා දමා තිබෙන අතර සේවය ලබා ගත් මැයි, ජුනි සහ ජුලි මාස තුන සදහා ගෙවිය යුතු වැටුප් ද මේ දක්වා කිසිදු සේවකයෙකුට ගෙවා නොමැති බවයි.

"අපේ හිග මුදල් ලබා දෙන්න. කර්මාන්තශාලාව විශ්වාස කරන්න කියලා කියපු නිසා අපි බලාගෙන හිටියා. දිගටම ඉන්න බෑ. පඩි නැතුව ඉන්න බෑ. පඩිය දිලා ඉන්න කිව්වොත් ඉන්න පුළුවන්. හිග මුදල ලබා දීලා බී කාඩ් අරන් දුන්නොත් අපිට වෙන කොහෙට හරි වැඩට යන්න පුළුවන්. හරි තීරණයක් අරන් දුන්නොත් හොදයි. මාස තුනක පඩිය තවම දිලා නැ."

ඇය තව දුරටත් සදහන් කළේ ගිය වසර සදහා ගෙවිය යුතු රුපියල් 20000 ක බෝනස් මුදල ද මේ දක්වා සේවකයන්ට ගෙවා නොමැති බවයි.

මාස තුනක හිඟ වැටුප් නොලැබීමත්, රැකියාව අහිමිවීමෙන් පසු ආදායම් මාර්ගයක් නොමැති විමෙනුත් කර්මාන්ත ශාලාවේ සේවයේ යෙදී සිටි කම්කරුවන් දැඩි දුගී භාවයකට පත්ව සිටින බව විරෝධතාකරුවන් වැඩි දුරටත් පවසා තිබේ.

පළාත් බද මාධ්‍යවේදීන් පවසන පරිදි මෙම කර්මාන්තශාලාව වසා දැමීම නිසා රැකියා අහිමි වී ඇති පිරිස 2000 ට අධිකය. ඔවුන් අතරින් 300 ට අධික කම්කරුවන් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි බව ඔවුහු වැඩි දුරටත් පවසති.

කෙසේ නමුත් විරෝධතාකරුවන්ට ඇහුම්කන්කම් දීම සදහා ආරක්ෂක නිලධාරීන් හැරුනු කොට වග කිව යුතු කිසිදු බලධාරියෙක් කර්මාන්තශාලා පරිශ්‍රය තුළ සිට නැත.

දිනකට නිමි ඇඳුම් 2,000,000කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන නෝවුඩ් ෆැෂන් ආයතනයේ පොල්ගහවෙලද කර්මාන්තශාලාවක් ඇති බව පාලකයෝ පවසති. 

කොවිඩ් වසංගත තත්වයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ආර්ථික අභියෝග හමුවේ කර්මාන්ත ශාලා කිහිපයක්ම වසා දැමීම නිසා ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්කරුවන් රැසකටද රැකියාව අහිමි වී තිබුනි.

(the leader)