ලාදුරු රෝගය මර්දනයට නව ප්‍රවේශයක්

ලාදුරු රෝගය මර්දනයට නව ප්‍රවේශයක්

ලාදුරු රෝගය මර්දනය හා පාලනය කිරීම වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන එක්ව පවත්වන ලද විශේෂ වැඩසටහනක් (08) දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේ දී පැවැත්විනි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද  මෙම වැඩසටහන අද පස්වරුව දක්වා පැවැත්වෙන අතර “ලාදුරු වලින් තොර ජාතියක්” යන්න තේමා කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ලාදුරු රෝගය මර්දනය හා පාලනය කිරීමට ගත් පියවර, ගතයුතු ඉදිරි පියවර, කාර්ය මණ්ඩල පුහුණු කිරීම,  ගතයුතු ඉදිරි පියවරයන්,  අනුගමනය කල යුතු ක්‍රමවේද පිළිබදව මෙහිදී  දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ලාදුරු මර්දන ව්‍යාපාරය, කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, අලයන්ස් සංවර්ධන භාරය (Alliance Development Trust), Keveri Kala Manram, යන ආයතන වල සහයෝගීතාවයෙන් මෙම වැඩසටහන පැවැත්වේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ, ලාදුරු මර්දන ව්‍යාපාරයේ වත්මන් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ලාදුරු රෝගය මර්දන කිරීම හා පාලනය කිරීම වෙනුවෙන් නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින් එයට නව පණක් ලබා දී ඇති බවත් මෙම රෝගයෙන් ආරක්ෂාවීම සදහා මහජනතාව ඒ පිළිබදව දැනුවත් විය යුතු බවද ඒ වෙනුවෙන් නව දැනුවත් කිරීමේ හා පාලනය කිරීමේ වැඩසටහන් හදුන්වා දිය යුතු බවද පැවසීය. වර්තමානයේ දී  ලාදුරු රෝගය මෙන්ම බෝවන ‌, බෝ නොවන රෝග  පාලනයට ජනතාව දැනුවත් කිරීම සදහා මාධ්‍ය මගින් විශාල මෙහෙයක් සිදු කල හැකි බවද කීවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය ලාදුරු රෝගය මර්දනය හා පාලනය සදහා ක්‍රමවත් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවත් පසුගිය කාලයේ ඇති වුනු කොවිඩ් වසංගතයත් සමග එම වැඩසටහන් වල යම් කිසි පසුබෑමක් සිදු වුවත් වර්තමානය වන විට එය නැවතත් යථාතත්වයට පත්වෙමින් තිබෙන බවත් ලාදුරු රෝගය පාලනය කිරීම සදහා ඇපකැප වී කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල සියලු දෙනාට සිය ස්තුතිය ද පල කලේය.

මෙම අවස්ථාවට ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර, කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යෂ වෛද්‍ය චන්දන ගජනායක ප්‍රජා විශේෂඥ වෛද්‍ය වෛද්‍ය කසුනි කලුබෝවිල, මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.සුකුනන්, ලාදුරු ජනතා සංගමයෙහි (Leprosy People's Association) සභාපති ජී.අමරසිංහ, ලාදුරු මර්දන ව්‍යාපාරයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට යන මහත්ම මහත්මින් සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල නියෝජිතයින් මෙන්ම වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.