ඖෂධයක ප්‍රතික්‍රියාව ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

ඖෂධයක ප්‍රතික්‍රියාව ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

මිහින්තලේ ප්‍රාදේශීය රෝහලේ දී ලබාදුන් ඖෂධ මගින් සංකූලතා ඇතිවිම සම්බන්ධව සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ඉහත කරුණ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් කරුණු පැහැදිලි කිරිමක් සිදු කර ඇති අතර, එම කරුණු පැහැදිලි කිරිම පහත පරිදි වේ.

“මිහින්තලේ ප්‍රාදේශීය රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය මගින් 2024.07.13 දින පුද්ගලයන් 239 දෙනෙකු සඳහා ප්‍රතිකාර ලබා දී ඇත. ඒ අතරින් වයස අවුරුදු 6 - 11 අතර දරුවන් 11 දෙනෙකුට සංකූලතා ඇතිවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද අතර, අද (2024.07.15) දින මධ්‍යහ්න 12.00 වන විට එම දරුවන් සියලු දෙනාම ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇත.

මෙම දරුවන් සඳහා ලබාදී ඇති ඖෂධ, මුඛ මාර්ගයෙන් ලබාදෙන ඖෂධ (ගිලින පෙති) වන අතර, එම ඖෂධ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනය කරන ලද ඒවා වේ. මෙම ඖෂධය අයත් කාණ්ඩයේ පෙති 1,470,000 ක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ බෙදා හැර ඇති අතර, මේ දක්වා වෙනත් කිසිදු රෝහලකින් මේ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් වාර්තා වී නොමැත.  

එම ඖෂධ හේතුවෙන් සංකූලතා ඇති වූයේ ද යන්න තහවුරු කරගනු පිණිස, ලබා දී තිබූ ඖෂධ සහිත ඇසුරුම් (Container) තත්ත්ව පරීක්ෂාව පිණිස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පාලන රසායනාගාරය වෙත යොමුකර ඇති අතර, එහි ප්‍රතිඵල ලැබෙන තෙක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මෙම ඖෂධයේ ඉතිරිය භාවිතා කිරීම අත්හිටුවා ඇත.

තවද ඉහත සංකූලතා සහ ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ලබාදෙන එන්නත් අතර කිසිදු සබඳතාවක් නොමැත.”

සබැඳි පුවත්