වතුකරයේ කවිය පළමු වරට  සිංහල ඉංග්‍රීසි සාහිත්‍යයට එක්වෙයි (Photo)

වතුකරයේ කවිය පළමු වරට  සිංහල ඉංග්‍රීසි සාහිත්‍යයට එක්වෙයි (Photo)

වතුකරයේ කවීන්ගේ පද්‍ය නිර්මාණ සිංහල සහ ඉංග්‍රීසි බසට පරිවර්තනය කරමින් PEN Sri Lanka සංවිධානය  ප්‍රකාශයට පත් කළ "කහට සුවඳ කවි" හෙවත් "Tea Stained Lines"  එළිදැක්වීම  ඊයේ (සැප්.11) කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ  ප්‍රධානත්වයෙන් හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතාගේ  සහභාගිත්වයෙන් පැවැත්වුණි. මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස කර්ණාටක වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ  සංගමයේ  සභාපති සහ කර්ණාටක ප්‍රාන්තයේ "ජනමිත්‍රා" පුවත්පතේ ප්‍රධාන කර්තෘ මදන් ගවුඩා මහතා සහභාගී විය.

වසර දෙසීයකට ආසන්න කාලයක් මේ රටේ ජාතික ආර්ථික පෝෂණයට දැවැන්ත දායකත්වයක් දුන් ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ජනතාවගේ  පද්‍ය සාහිත්‍ය සිංහල සහ ඉංග්‍රීසි පාඨකයන්ට සමීප කරවීම අරමුණු කරගනිමින්,PEN International හි  සහයෝගීතාවය ඇතිව මලෛග කාව්‍ය සරණිය  "කහට සුවඳ කවි" "Tea Stained Lines නම් මෙම පද්‍ය සංග්‍රහය PEN Sri Lanka  සංවිධානය  විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

නුවරඑළිය,බදුල්ල, රත්නපුර,මහනුවර ආදී ප්‍රදේශවල වතුකරයේ කවි කිවිඳියන් විසි දෙනෙකුගේ කවි ඇතුළත් මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ වැඩ සටහනට කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය සහ ඉන්දියා ශ්‍රී ලංකා සමාජය  සහයෝගීතාව ලබා දී ඇත.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය  විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ, අංශ ප්‍රධානී   මහචාර්ය ඇන්ටන් පියරත්න මහතා විසින් සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අන්කුරන් දත්තා මහතා ද ග්‍රන්ථයේ සංස්කාරක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ් මහතා ද ආචාර්ය අමිල කංකානම්ගේ මහතා, ලංකා ඉංදියා සමාජයේ ලේකම්  කයිලාසපිල්ලේ මහත්මිය, සරවනන් නීලකන්දන් මහතා සන්තෝෂ් මෙනන් මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

ඡායාරූප - නලීන් හේවාපතිරණ