ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතුයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතුයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මර්දනයන්ට එරෙහි වීමේ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලික පදනමක් බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැනට කප්පාදු කර ඇති එම අයිතීන් සුරැකීම සඳහා කැපවන ලෙස නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටී.

“මහජන ඡන්දයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකාවේ 09 වෙනි විධායක ජනාධිපතිවරයා වන දිසානායක මහතාට සුබ පැතීම සඳහා මෙය අවස්ථාවක් කරගන්නා අතර දේශයේ අනාගතය තීන්දු වනු ඇත්තේ ඔහු ඇතුළු පාලන තන්ත්‍රය කටයුතු කරන ආකාරය මත බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයයි.

ගෙවුණු සමය තුළ ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමට හේතු වන හා ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය පිරිහෙළන අණපනත් ගණනාවක් හඳුන්වා දීමට හා සම්මත කිරීමට ක්‍රියා කර ඇත. මාර්ගගත ක්‍රමවේද පිළිබඳ ආරක්ෂාව සම්බන්ධයෙන් වන පනත, යෝජිත ත්‍රස්ත මර්දන නීතිය, හා කෙටුම්පත් කර ඇති නව කම්කරු නීති ඒ අතරින් ප්‍රධාන වේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු සෙසු මාධ්‍ය හා සිවිල් සංවිධානද, වෘත්තීය සමිතිද එවැනි මර්දනකාරී අණපනත් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළත් ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බව පෙන්වා දෙමින් ඒවා අහෝසි කරන මෙන් අවස්ථා ගණනාවකදී බලකරන ලදී. එසේම ඒ සම්බන්ධයෙන් වන අධිකරණමය ක්‍රියාමාර්ගවල නිරත වන ලදී.

එවැනි පසුබිමක, සියලු මර්දනකාරී අණපනත් අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි සිය අව්‍යාජ කැපවීම පෙන්නුම් කිරීම සඳහා නව ජනාධිපතිවරයාට හිමිවන ස්වර්ණමය අවස්ථාවක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි.

එසේම පසුගිය පාලන සමයන්හී මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම්, ප්‍රහාර එල්ල කිරීම් ඇතුළු  මාධ්‍ය ආතනවලට එරෙහිව සිදු වූ අපරාධවලට අදාළව යුක්තිය ඉටු කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්/සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කිරීමටද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යෝජනා කරයි.

රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාතී හා ස්වාධීන පුරවැසි මාධ්‍ය බවට පරිවර්තනය කිරීමත්, සියලු මාධ්‍ය සමාජ වගකීම පෙරදැරි කරගත් මාධ්‍යකරණයක නිරත වීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් නිර්මාණය වීමත් බලවත් අවශ්‍යතාවයකි.

වසර 30කට අධික කාලයක අත්දැකීම් සහිත නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා සහාය ලබාදීමට හැකියාව තිබේ. එහෙත් ඒ සඳහා සපුරාලිය යුතු මූලික කොන්දේසිය වන්නේ, මර්දනකාරී අණපනත් අහෝසි කිරීම හා මාධ්‍යයට එරෙහි සියලු ආකාරයේ අපරාධවලට අදාළව යුක්තිය ඉටු වීමයි.