කම්කරු ඇමතිනියගෙන් ජාතික කම්කරු උපදේශක සභාව කැඳවන ලෙස ඉල්ලීමක්

කම්කරු ඇමතිනියගෙන් ජාතික කම්කරු උපදේශක සභාව කැඳවන ලෙස ඉල්ලීමක්

ජාතික කම්කරු උපදේශක සභාව නැවත ස්ථාපිත කර, තනි කම්කරු නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පාර්ශයන් සමග සාකච්ඡාවක් කිරීමට කටයුතු කරන ලෙස නව කම්කරු අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වෙත වෘත්තීය සමිති කිහිපයක් ලිපියක් යවමින් බල්ලීමක් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ,  

2024 සැප්තැම්බර් 26 වන දින.

හරිනි අමරසූරිය මෙනෙවිය

ගරු අගමැතිනිය සහ

කම්කරු ඇමතිනිය,

අගමැති කාර්යාලය,

මල් පාර,

කොළඹ 07.

හිතවත් අගමැතිනියනි,

ජාතික කම්කරු උපදේශක සභාව පත් කිරීම සහ “තනි කම්කරු නීතිය” සම්බන්ධයෙනි

සියල්ලට ප්‍රථම, මෙරට තෙවැනි අගමැතිනිය සහ පළමු කම්කරු ඇමතිනිය ලෙස වගකීම් භාර ගැනීම සම්බන්ධයෙන් අපි ඔබට සුභ පතන්නෙමු. එසේම, පෞද්ගලික අංශයේ සේවක අයිතිවාසිකම් තහවුරු කිරීමටත් සේවා තත්ත්වයන් වර්ධනය කිරීමටත් ඔබ සහ ඔබගේ ආණ්ඩුව ගන්නා සියලු ප්‍රතිපත්තිමය තීන්දු සහ පියවර වෙනුවෙන් ජාතික කම්කරු උපදේශක සභාවෙහි වූ සාමාජික වෘත්තීය සමිති ලෙස අපි අපගේ සහාය ලබා දෙන බවද මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමු.

ඒ සමග, භාරකාර ආණ්ඩුවක වූවත් කම්කරු ඇමතිනිය වශයෙන් ඔබ සතු වගකීම් ඉටු කිරීමේ අවකාශය සමග පහත සඳහන් නිශ්චිත කාරණා නොපමාව ඉටු කරන මෙන් මෙයින් ඉල්ලමු.

01.          ජාතික කම්කරු උපදේශක සභාව ස්ථාපිත කිරීම

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ත්‍රෛපාර්ශවීය උපදේශන සම්මුතිය ශ්‍රී ලංකාණ්ඩුව අපරානුමත කළ පසු, එහි ගිවිසගත් පරිදි 1994 දී ජාතික කම්කරු උපදේශක සභාව පිහිටුවනු ලැබිණ. වාර්ෂිකව එහි සාමාජිකයින් පත් කළ යුතු අතර, එහි කොන්දේසි අනුව එය කම්කරු ඇමතිවරයාගේ/ඇමතිවරියගේ සභාපතිත්වයෙන් මාසිකව රැස්විය යුතුය.

එහෙත් හිටපු කම්කරු ඇමති විසින් එය අකර්මන්‍ය කිරීම නිසා 2023 අගෝස්තු මාසයේ සිට මෙතෙක් අවුරුද්දකුත් දෙමසක් ජාතික කම්කරු උපදේශක සභාව ක්‍රියාත්මක නොවන්නේය.

එවගේම, භාරකාර ආණ්ඩුවකට වුවද, ජාතික කම්කරු උපදේශක සභාව ස්ථාපිත කිරීමේ කිසිදු නෛතික අවහිරයක් නොමැත.

02.          තනි කම්කරු නීතියක් සම්පාදනය කිරීම

මෙයට ඉතාහාසයක් ඇත. එය හැකි තරම් කෙටියෙන් කිවහොත්, යටත් විජිත පාලන සමයේ සිට ක්‍රියාත්මක වන ඇතැම් කම්කරු නීති වර්තමාන ලෝකයට අදාල නොවන්නේ යැයි වන පොදු මතය සමග කාර්මික සාමයක් පවත්වා ගැනීමේදී වඩා යෝග්‍ය වන්නේ ඒ සියල්ල අවශ්‍ය පරිදි “තනි කම්කරු නීතියක්” ලෙස සම්පාදනය කිරීම යැයි වන පිළිගැනුම අනුව, යහපාලන ආණ්ඩුව යටතේ ඇමෙරිකානු ආධාර සංවිධානයෙහි (ඹී්ෂෘ) මූල්‍ය හා සම්පත් දායකත්වය ඇතිව කෙටුම්පත් කළ තනි කම්කරු නීතිය අප ප්‍රතික්ෂේප කෙරුවේ, මෙරට කම්කරු නීති සංශෝධනය හෝ සම්පාදනය කම්කරු අමාත්‍යාංශයේ හා සේවක නියෝජනයක අයිතියක් යැයි වූ මූලික ප්‍රතිපත්තිමය ස්ථාවරය සමගින් ය.

එහෙත් එය පැවති රජය යටතේ හිටපු කම්කරු ඇමති විසින් ඔහුගේ හිතවත් හා ව්‍යාපාරික නියෝජනයක් සමගින් විවිධ සාකච්ඡා සභා නම් කරමින් නීතිගත කිරීමට ගනු ලැබූ උත්සාහ සියල්ලට අප යළි විරුද්ධ වූයේ එවැනි නීති සම්පාදනයක් විය යුත්තේ සම්මත පාර්ශවකරුවන් සමග වන විවෘත සාකච්ඡා සමගින් යැයි වූ ප්‍රතිපත්තිමය ස්ථාවරය අනුවය. අපගේ එම විරෝධතා මෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග වන සම්මුතිය ද නොතකා, හිටපු කම්කරු ඇමති විසින් ජාතික කම්කරු උපදේශක සභාව අකර්මන්‍ය කරනු ලැබිණ.

එබැවින් මෙමගින් අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ, කම්කරු නීති සම්පාදනය සඳහා ඔබගේ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ කම්කරු දෙපාර්තමේන්තුවේත්, පෞද්ගලික ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරන්නාවූ වෘත්තීය සමිතිවල නියෝජිතයින්ගෙන් සහ හාම්පුතුන්ගේ සම්මේලනය නියෝජනය කරන නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ජාතික කම්කරු උපදේශක සභාව තුළ මෙම සාකච්ඡාව ඇති කරන ලෙස සහ එසේ කිරීම කම්කරු ඇමති ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසත් ය.

එනිසා අප මෙයින් ඉල්ලා සිටින්නේ කම්කරු අමාත්‍යාංශ වෙබ් අඩවියේ ජාතික කම්කරු උපදේශක සභාවෙහි සඳහන් සංයුතිය ප්‍රකාර (https://si.labourmin.gov.lk/national-labour-advisory-council/#1611755100551-ccc21a46-cdaa) නොපමාව ජාතික කම්කරු උපදේශක සභාව ස්ථාපිත කරන මෙන් ය. 

මේ කාරණා දෙක ඔබට නොපමාව ඉටු කළ හැකි යැයි අපි විශ්වාස කරමු.

ස්තුතියි.

මෙයට,

අත්සන් කළ වෘත්තීය සමිති

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, ලංකා කම්කරු සමමේලනය, ලංකා වතු සේවා සංගමය, එක්සත් වතු කම්කරු සමිතිය, ලංකා ජාතික වතු කම්කරු සංගමය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාර්ස් ශ්‍රී ලංකා, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, ජාතික සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික කම්කරු සමිතිය, ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්තානය, ලංකා කම්කරු කොංග්‍රසය