විශේෂ සරම්ප-රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතිය සදහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට ඒකකයක්

 Measles-rubella-vaccine

එන්නත් ලබාදීම ‌නොවැම්බර් මස 09 දා

වසංගත රෝග තත්ත්වයන් සදහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකය විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ දී (01) දින සිදු කෙරිනි.

මෙම එ්කකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවධානම නිසාවෙන් වන අතර, මෙම ඒකකය විශේෂ සරම්ප-රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතිය (නොවැම්බර් 4-9 දින 2024) පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබේ. 0704565656 (Voice, Whatsapp) දුරකථන අංකය ඔස්සේ සරම්ප, රුබෙල්ලා ඇතුලු වසංගත රෝග පිළිබද තොරතුරු විමසා ජනතාවට  දැනුම්වත් විය හැක.

එමෙන්ම නොවැම්බර් මස 04 සිට 09 දක්වා විශේෂ සරම්ප / රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක්  සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පැවැත්වීමට තීරණය කර ඇති අතර එම  සතිය තුල ගත යුතු ක්‍රියාමාර්ග සහ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවධානම පාලනය සදහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද විශේෂ සාකච්ඡාවක් ද වසංගත රෝග විද්‍යා අංශයේ දී පැවැත්වුනි.

රෝගය පැතිරීම වැළක්වාලීමට  නම්  එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීමේ අවශ්‍යතාවය පිළිබද මහජනතාව දැනුවත් කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. ප්‍රාදේශීය මට්ටමින් අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීමටත්, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මගින් ජනතාව දැනුවත් කිරිමටත්, පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදෙන ලදි.

නොවැම්බර් මස 04 සිට 09 දක්වා විශේෂ සරම්ප / රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ  සතිය තුල සිදු කරනු ලබන ප්‍රධාන ක්‍රියාකාරම් ලෙස තෝරා ගත් පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල ගෙයින් ගෙට ගොස් සරම්ප සදහා පූර්ණ ලෙස ප්‍රතිශක්තීකරණය නොලැබූ වයස මාස 09 ත් අවුරුදු 30 ත් අතර පුද්ගලයින් හදුනා ගැනීම සහ ඔවුන් දැනුවත් කිරීම, තෝරා ගත් රැකියා ආයත සහ උසස් අධ්‍යාපන ආයතන වෙත ගොස් අවුරුදු 20-30 අතර කාණ්ඩයේ සරම්ප රෝගය සදහා පූර්ණ ප්‍රතිශක්තිකරණය නොලැබූ පිරිස හදුනාගැනීම සහ දැනුවත් කිරීම, විශේෂ එන්නත් සායන පැවැත්වීම (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල තෝරාගත් නිත්‍ය ප්‍රතිශක්තිකරණ සායනවල සහ රැකියා සහ උසස් උධ්‍යාපනික ස්ථාන වල පිහිටුවනු ලබන විශේෂ ප්‍රතිශක්තිකරණ සායනවල සරම්ප එන්නත ලබාදීම), මහජනතාව දැනුවත් කිරීම (මාධ්‍ය ආයතන, ප්‍රජා නායකයින් සහ සෞඛ්‍ය වෘත්තිකයන් හා එක්ව සරම්ප රෝගය සහ විශේෂ ප්‍රතිශක්තිකරණ වැඩසටහනෙහි වැදගත්කම පිළිබදව දැනුවත් කිරීම පෙන්වා දිය හැක.

එන්නත් ලබාදීම ‌නොවැම්බර් මස 09 සිදු කරනු ලබන අතර  එදින පැමිණීමට නොහැකිවන පිරිස් වෙත ඉදිරි සෙනසුරාදා 4ක දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එන්නත් ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇත.

2019 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.  කොවිඩ් 19 වසංගතය සමග ලොව පුරා බොහෝ රටවල එන්නත්කරණය අඩාලවීම නිසා ගෝලීයවත්, අප කලාපයේ රටවලත් සරම්ප රෝග තත්ත්වයක් ඇති විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ මැයි මස සිට ශ්‍රී ලංකාව තුල නැවතත් සරම්ප රෝගීන් වාර්තා විය.

එක් සරම්ප රෝගියෙකුගෙන් 18 දෙනෙකුට බෝවීමට ඉඩ ඇති බව සහ  මාරාන්තික අතුරු අබාධ ඇති කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති අයවළුන් වේ නම් වහාම එන්නත්  ලබාගත යුතු බවත්, මේ පිළිබද ලගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් ද තොරතුරු විමසිය හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ්, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හසිත තිසේරා ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩල පිරිසක් එක්ව සිටියහ.