දියවැඩියාව පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ සහ අප්‍රිකානු විද්වතුන් කොළඹට රැස්වේ

diabetes-2024

පසුගිය නොවැම්බර් 14 දිනට යෙදුණු ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ සහ අප්‍රිකානු රටවල් කිහිපයක විද්වතුන්ගේ සහභාගීත්වයෙන් දියවැඩියා පාලනයට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව කතිකා කිරීමට විශේෂ ජාත්‍යන්තර සමුළුවක් අද (21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී ආරම්භ විය. (21) සහ (22) දෙදින මෙම සමුළුව පැවැත්වීවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව මෙම දෙදින සමුළුව සංවිධානය කර ඇති අතර බංගලාදේශය, භූතානය, ඝානාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, මැලේසියාව, නේපාලය, තායිලන්තය, තිමෝර් - ලෙස්ටේ හා  ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් විද්වතුන් 150 කට අධික පිරිසක් මෙම සමුළුවට සහභාගී වී සිටිති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතා සහ අග්නිදිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂ වෛද්‍ය Dr. Saima Wazed මහත්මිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුවේ ආරම්භක සැසිය අමතනු ලැබීය.

මෙම ජාත්‍යන්තර සමුළුවේදී, දියවැඩියා රෝගය පිළිබද රටවල් අතර දැනුම බෙදාගැනීම, දියවැඩියා පාලනය සදහා යෝජනා ඉදිරිපත් කිරීම, ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබදව කතිකා කිරීම, සියලු රෝගීන් සදහා එකම ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කිරීම, රෝග ප්‍රතිකාර හා නිවාරණ කටයුතුවලදී පවතින අභියෝග ජය ගැනීම, අවශ්‍ය මානව සම්පත හසුරුවා ගැනීම සහ ඊට අදාල වෙනත් කරුණු පිළිබදව මෙහිදී සාකච්ජාවට ගැනෙනු ඇත.

හෙට (22) මෙම විද්වත් කණ්ඩායම මෙරට තෝරා ගත් සෞඛ්‍ය ආයතන කිහිපයක විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක ද නිරත වීමට නියමිත අතර, එම ක්ෂේත්‍ර චාරිකාවෙන් අනතුරුව පිරිස නැවත රැස්වී, Colombo call to action යන පොදු ප්‍රකාශනය එළිදැක්වීමටද නියමිතය. දියවැඩියාව පාලනය සදහා සියලු විද්වතුන්ගේ අදහස්, යෝජනා කැටිව සකසන ලද සාමූහිකව ක්‍රියාත්මක කල යුතු පොදු වැඩපිළිවෙලකින් මෙම පොදු ප්‍රකාශනය සමන්විත වේ.

මෙහිදි අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ ලොව පුරා මිලියන 422 කට අධික ජනතාවක් දියවැඩියාවෙන් පෙළෙන බවත්, සෑම වසරකම මිලියන 1.5 ක ජනතාවකට මෙම රෝගය නිසා ජීවිත අහිමි වන බවත්ය. අග්නිදිග ආසියාව තුළ පමණක් මිලියන 96 කට වැඩි ජනතාවක් දියවැඩියාව සමඟ පොරබදමින් සිටින බවද, බොහෝ දෙනෙකුට ගුණාත්මක සත්කාර සහ ප්‍රතිකාර සඳහා ප්‍රවේශයක් නොමැති බවද කීවේය.

මෙරට ජනතාව  තුළද දියවැඩියා ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කරන බව සදහන් කල ඒ මහතා වැඩිහිටියන් අතර සිදුවන මරණ වලට තුන්වන ප්‍රධාන හේතුව දියවැඩියා රෝගයේ සංකූලතා බවද අවධාරණය කලේය. එමෙන්ම මෙවැනි වැඩසටහන් මගින් දියවැඩියාව වැළැක්වීම, කල්තියා හඳුනා ගැනීම සහ ඵලදායී කළමනාකරණය ද අන්ධභාවය, වකුගඩු අකර්මණ්‍ය වීම, හෘදයාබාධ, ආඝාත සහ අත් පා කැපීම් ඇතුළු එහි සංකූලතා අවමකර ගැනීම ද ආර්ථික හා සමාජීය පිරිවැය අවම කර ගැනීම ද සඳහා අවධානය යොමු වන බවද පැවසීය.

දියවැඩියාවට එරෙහිව ක්‍රියා කිරීම  රජයට  පමණක් සිදුකල නොහැකි බවත්, ඒ සඳහා සමස්ත සමාජයේම ප්‍රවේශයක් අවශ්‍ය බවත් සදහන් කල ඒ මහතා අධ්‍යයන ආයතන, වෘත්තීය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර හවුල්කරුවන් මේ සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවත් වැඩිදුරටත් සදහන් කලේය.

හෙට දින පස්වරුවේ පැවැත්වෙන මෙහි සමාප්ති උත්සව අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද සහභාගිවීමට  නියමිතය.

මෙම ජාත්‍යන්තර සමුළුව සදහා ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ අධ්‍යක්ෂ (බෝ නොවන රෝග) Dr. Guy Fones, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය Alaka Singh, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකොන් යන මහත්ම මහත්මීන් ඇතුලු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.