යළි රස්සාවයි හිඟ වැටුපයි ඕනෑ: – හම්බන්තොට උපවාස කරන කත නිලධාරීන් ඉදිරියේ වස බොන්න හදයි

upawasa-thissaramaya

හම්බන්තොට විවිධ සේවා සමුපකාර සමිතියේ හිටපු කළමනාකාරවරිය සිය සේවය අත්හිටුවීමට එරෙහිව (06දා) දින උදෑසන දහයට පමණ හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිට උපවාසයක නිරත වූවාය.

යළි රැකියාව සහ හිඟ වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින් වයස අවුරුදු පනස් නවයක් වූ එම කාන්තාව මෙසේ උපවාසයක නිරත වූවාය.

එම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී ඩබ්ලිව්. ඩබ්ලිව්. කේ. වී නිරෝෂන් මහතා හා තවත් නිලධාරිනියක එම ස්ථානයට පැමිණියහ. එසේ ගැටලුව සාකච්ඡා කරන අතරවාරයේ, නිලධාරීන් සහ කාන්තාව අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. එම අවස්ථාවේ ඇයගේ ගමන් මල්ලේ තිබී ගත් වස බෝතලයක් විවෘත කොට පානය කිරීමට ඇය උත්සාහ කළාය.

පසුව නිලධාරිනියක එම වස බෝතලය උදුරා ඇය පාලනය කොට ගැටලුව සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත රැගෙන යෑමට කටයුතු කළාය.

තමා හම්බන්තොට විවිධ සේවා සම්ප්‍රකාර සමිතියේ කළමනාකාරවරියක ලෙස සේවය කරමින් සිටිය බවත් සමිතියේ වෙනත් පුද්ගලයන් විසින් සිදු කරන ලද මූල්‍ය වංචාවක් තමා පිට පටවා සේවයෙන් පහකළ බවත් අදාළ මූල්‍ය වංචාව සිදුකළ පුද්ගලයන් තවමත් සේවයේ නිරත බවත් කියමින් ඇය උපවාසය ආරම්භ කළාය. මෙය මාරාන්තික උපවාසයක් බව ද ඇය මාධ්‍යට සඳහන් කළාය.

වසර දහසයක් තිස්සේ දරුවන් තිදෙනකු සමග අනේක දුක් ගැහැට විඳිමින් සාධාරණයක් අපේක්ෂාවෙන් සියලුම බලධාරීන් වෙත ලිපි යොමු කරමින්, දිගින් දිගටම සාධාරණයක් බලාපොරොත්තු වුවද බලධාරීන් ඒ පිළිබඳ කටයුතු නොකිරීම නිසා මෙලෙස මාරාන්තික උපවාසයකට පිවිසි බවත් අද දින උත්තරයක් ලබා නොදුනහොත් වස පානය කර මියයන බවත් ඇය නිලධාරීන්ට සඳහන් කළාය.

දිස්ත්‍රික් ලේකම්වරයා වෙත පැමිණි කාන්තාව දිස්ත්‍රික් ලේකම්වරයා සමග ඇතිවූ සාකච්ඡාවේ කිසිදු ප්‍රතිඵලයක් නොවූ බව කියා “අලි පාගලා මැරුවත් මෙතැනින් නැඟිටින්නේ නෑ” යනුවෙන් පවසා නැවත උපවාසය ආරම්භ කළාය.

(දිවයින)