අයවැයෙන් මේ ගැටළුවලට විසඳුම් දෙන්න“ - වෘත්තීය සමිති ජනපතිගෙන් ඉල්ලීමක් කරයි

akd-anura

ඉදිරි අයවැය තුළින් වැඩකරන ජනතාවගේ ගැටළු සඳහා විසඳුම් ලබාදෙන ලෙස කරනු ලබන ලෙස රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

ශ්‍රී ලංකාවේ වැඩකරන පංතිය නියෝජනය කරන රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයින් මේ වනවිට පවතින ආර්ථික, සමාජීය තත්ත්වය තුළ විසඳාගත නොහැකි ගැටළු ගණනාවකින් පසුවන අතර එම ගැටළු සඳහා ප්‍රමුඛතාවය අනුව කඩිනම් විසඳුම් ලබාගැනීම සිදු කළ යුතුව ඇත.

01.       වැඩකරන පංතියේ සේවක වැටුප් වැඩි කිරීම:

රට තුළ පවතින ආර්ථික තත්ත්වය මත භාණ්ඩ හා සේවා මිල ගණන් සහ අනෙකුත් වියදම් සැලකිල්ලට ගත් කළ රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් හට අනිවාර්යෙන්ම වැටුප් වැඩි කිරීමක් සිදු කළ යුතු වේ.  නව රජය පත්වීමට ප්‍රථම රට තුළ පැවති උද්ධමනකාරී තත්ත්වයන් සැලකිල්ලට ගෙන රු.25,000/- ක වැඩි කිරීමක් සිදු කරන ලෙසට රාජ්‍ය අංශයේ සියළු වෘත්තිය සමිති විසින් ඉල්ලා සිටින ලදී.  මෙම අරගලයන්ට මූලිකත්වය ගනිමින් ඔබ පක්ෂයේ වෘත්තිය සමිති මධ්‍යස්ථානය විසින් ද මෙම අරගලයන්ට මැදිහත්වීම සිදු කළ බව මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමු.  මෙහිදී රාජ්‍ය සේවකයින් සඳහා රු.20,000/- ක වැටුප් වැඩිකිරීමක් සිදු කරන ලෙස ද ඉල්ලා සිටින ලදී,  කෙසේ වෙතත් පසුගිය මැතිවරණ සමය තුළ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කටයුතු කිරීම වෘත්තිය සමිති විසින් තාවකාලිකව අත්හිටුවන ලදී.

පසුගිය ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඒ ඒ පක්ෂ තම ප්‍රතිපත්ති ප්‍රකාශ තුළින් තම මතය ප්‍රකාශ කළ අතර, ඔබතුමන්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ ජාතික ජන බලවේගය ද “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” නමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද  මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කර ඇත.  කෙසේ වෙතත් පවතින ආර්ථික තත්ත්වය තුළ සමස්ථ රාජ්‍ය සේවකයින් සඳහා අවම රු.20,000/- ක වැටුප් වැඩිකිරීමක් හෝ ඔබ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාරව ගණනය කර ඉහළ ඉල්ලීමට අඩු නොවන වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

02.       අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අවම වැටුප තීරණය කීරීම:

රටේ සමස්ථ ශ්‍රම බලකායෙන් බහුතර සේවක සංඛ්‍යාවක් නියෝජනය කරනුයේ අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශය වේ.  මෙම සේවක කණ්ඩායම් නියෝජනය කරන කුටුම්භයක සාමාජිකයින් 04 කින් යුක්ත වන අවස්ථාවක, අවශ්‍ය අවම මාසික  වියදම රු.66000/- ක් වශයෙන් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු 2023 වාර්තාව මඟින් ප්‍රකාශයට පත් කර ඇත. එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අවම වශයෙන් මෙම අංශයන්හි “ අවම ජාතික මාසික වැටුප”  රු.50000/- ක් කිරීමේ නීතිමය ප්‍රතිපාදන ගෙන එන ලෙසත්, පාර්ලිමේන්තුවට වගකිව යුතු “ජාතික වැටුප් සහ සේවා ප්‍රතිසංස්කරණ සඳහා වන සභාව”  පිහිටුවීමත්, ඒ සඳහා යෝජිත අධිකාරි බලයක් ස්ථාපිත කරන ලෙසත් ඉල්ලා සිටිමු.

03.       රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් හා උසස් කිරීම් සිදු කිරීම:-

පසුගිය රජය විසින් නිකුත් කල  2022.04.26 දිනැති අංක 03/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛය  අනුව රාජ්‍ය අංශයේ සියළු බඳවා ගැනීම් හා උසස්වීම් නතර කරන ලදී.  පසුව රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් සමාලෝචනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය  තුළ, අග්‍රාමාත්‍ය ලේකම්ගේ  සභාපතිත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කරන ලදී. මෙම කමිටුවේ නිර්දේශ මත යම් යම් ආයතනවලට ඉතා සුළු බඳවා ගැනීම් ප්‍රමාණයක් සිදු කළ අතර, සමස්ථ රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් කිසිදු අදහසක් පසුගිය රජය විසින් ඉදිරිපත් නොකරන ලදී.

කෙසේ වෙතත් ඔබගේ ප්‍රධානත්වයෙන් යුතු වර්තමාන රජය විසින් ද මේ වනවිට පෙර කී කමිටුව නැවත පත් කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇති අතර, එහි කටයුතු පිළිබඳව මෙතෙක් උපදෙස් නිකුත් කර නොමැත.  කෙසේ වෙතත් මේ දක්වා රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති අතර, බඳවා නොගැනීම නිසා සමහර රාජ්‍ය ආයතනවල සේවා සැපයීමට ද නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

ඔබ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ රාජ්‍ය අංශයේ බඳවා ගැනීම්, උසස් කිරීම් හා ස්ථාන මාරු කිරීම් පිළිබඳ අදහස් දක්වා ඇත. මේ අනුව මෙම සියළු ආයතනවලට බඳවා ගැනීම් හා උසස් කිරීම් සිදු කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස ඉල්ලමු.

04.       රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප:-

රාජ්‍ය සේවය සඳහා ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප 2016 වර්ෂයේ සිට සංශෝධනයට ලක් කළ අතර, මේ දක්වා ඒ පිළිබඳ ස්ථීර උපදෙස් නිකුත් කර නොමැත.  2016 සිට රාජ්‍ය සේවයට බඳවා ගන්නා සියළු සේවකයින්ට පැවති විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කර ඇතත්, නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය පිළිබඳව නිශ්චිත නෛතික තත්ත්වයක් සකස් කර නොමැති බැවින්, ඒ සම්බන්ධයෙන් නොපමාව අවශ්‍ය කටයුතු සිදු කළ යුතුව ඇත.  2016 වර්ෂයේ සිට රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සියළු රාජ්‍ය සේවකයන් පෙර පැවති විශ්‍රාම වැටුප් ක්‍රමයට අන්තර්ග්‍රහනය කර. ඉදිරියේ දී රාජ්‍ය සේවයට බඳවා ගන්නා සියළුදෙනා වෙත  ප්‍රතිලාභ ලබාගැනීමට හැකිවන පරිදි විශ්‍රාම වැටුප සකස් කරන ලෙස ඉල්ලමු.

05.       කම්කරු අණපනත් සංශෝධනය කිරීම:-

දැනට අර්ධ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ක්‍රියාත්මක කම්කරු අණපනත් අණ පනත් 13ක් අහෝසි කර එක් කම්කරු නීතියක් හඳුන්වාදීමේ විශේෂ වැඩ පිළිවෙලක් පසුගිය රජය විසින් සැළසුම් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට උත්සාහ කළ අතර, ඊට ඔබ පක්ෂයේ වෘත්තිය සමිති මධ්‍යස්ථානය ඇතුළු අනෙකුත් වෘත්තිය සමිති මැදිහත්වීම සහ ඊට පූර්ණ වශයෙන් විරෝධය පළ කිරීම නිසා එය හකුලා ගැනීමට සිදුවිය. කෙසේ වෙතත් වර්තමානයේද  එම ක්‍රියාවලිය  ඉදිරියට ගැනීමට ආණ්ඩුව සූදානම් බව වාර්ථා වන අතර, ඒ  පිළිබඳවද මේ වනවිට  දැඩි සේවක විරෝධයක් ගොඩනැඟී ඇත. ඒ අනුව ඉහත සඳහන් කළ කම්කරු නීති  සංශෝධනය ක්‍රියාත්මක නොකරන බවට සහතික වන ලෙසත්, යම් යම්  පනත් වල කිසියම්  සංශෝධනයන් අවශ්‍යව  ඇත්නම් ඒ සම්බන්ධයෙන් ත්‍රෛපාර්ශවීය සාකච්ජා මණ්ඩප වල සාකච්ජාවට ගෙන  එකඟතාවය තුළ සිදුකරන ලෙසත් ඉල්ලමු.

6.      රාජ්‍ය දේපල විකිණීම:-

පසුගිය රජය විසින් ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය දේපල විකිණීම, ඔබගේ ප්‍රධානත්වයෙන් යුතු රජය විසින් නතර කරන බව ඔබගේ මැතිවරණ ප්‍රකාශන වල සඳහන් කර ඇත. දැනට මෙම රාජ්‍ය සම්පත් විකිණීම සම්බන්ධයෙන්  යම් යම් ආයතන වල කටයුතු නතර කල බව ඔබගේ විෂයභාර අමාත්‍යවරුන්  ප්‍රකාශ කලද, ඒ සම්බන්ධයෙන් මේ දක්වා ස්ථිර තීරණයන් ගෙන ඇති බවක් දක්නට නැත. එබැවින් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ රාජ්‍ය ආයතන විකිණීම නතර කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර, ඒ පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමු.

07.සේවක අර්ථසාධක අරමුදල අවභාවිතාවීම වැලැක්වීමට සේවක යෝජනා :

1.         සේවක අර්ථසාධක අරමුදල මත පනවා ඇති අසාධාරණ බදු වහාම අහෝසි කිරීම.

2.         සේවක අර්ථසාධක අරමුදල හා බැඳුණු කටයුතු වඩා විනිවිද කරවන සේවක අර්ථසාධක අරමුදල් සංශෝධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම.

3.         ආරක්ෂිත පියවරයන් ගන්නා තෙක් කොටස් වෙළඳපලෙන් කොටස් මිලදී ගැනීම නවතා දැමීම.

4.         විනිවිදභාවය වෙනුවෙන් ප්‍රමාණවත් පියවර ගන්නා තෙක් ද්විතීයික බැඳුම්කර වෙළඳපොලේ සිදුකරන ගණුදෙනු අත්හිටුවීම.

5.         සෑම වසර 3කට වතාවක්ම වෝහාරික විගණනයක් සිදුවන බවට සහතික කිරීම.

ඉහත කරුණු ඔබ රජයේ පළමු අයවැය මඟින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස මෙහි පහත අත්සන් කරන වෘත්තිය සමිති ලෙස අප ඉල්ලා සිටින අතර, මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාවක් මෙම සංගම් සඳහා ලබාදෙන  ලෙසද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙයට,

පිටපත් :

1.         ගරු අග්‍රාමාත්‍යතුමිය, අග්‍රාමාත්‍ය කාර්යාලය, කොළඹ-03      - අ.ක.ස.

2.         ගරු රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, කොළඹ-07   - අ.ක.ස.

3.         ගරු කම්කරු අමාත්‍යතුමා, කම්කරු අමාත්‍යංශය, කොළඹ-05 - අ.ක.ස.

4.         ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍යතුමා, කම්කරු අමාත්‍යංශය, කොළඹ-05 - අ.ක.ස