ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන එච්.එම්,ඩී.එන්.කේ. වටලියද්ද මහත්මිය (24) දින කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ භාර ගත්තාය. ඒ නාරාහෙන්පිට පිහිටි කම්කරු අමාත්‍යංශයේ 'මෙහෙවර පියස' ගොඩනැගිල්ලේ 8 වන මහලේදීය.
මෙම අවස්ථාවට එක්වෙමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ කම්කරු අමාත්‍යංශය යටතේ පවතින කම්කරු දෙපාර්තමේන්තුවට භාරදූර කාර්‍යක් පැවරී ඇති බවයි. කම්කරු ජනතාව වෙනුවෙන් එම කර්තව්‍ය ඉටු කිරීම සඳහා අභිනව කම්කරු කොමසාරිස් ජනරාල්වරිය ලෙස එච්.එම්,ඩී.එන්.කේ. වටලියද්ද මහත්මිය ඇතුලු සමස්ත කාර්‍ය මණ්ඩලය පූර්ණ සහාය ලබා දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද මහින්ද ජයසිංහ මහතා විශ්වාසය පළ කළා.. එමෙන්ම වත්මන් රජය කම්කරු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පෙන්වා දුන්නා.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා.
" වත්මන් රජය කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. කම්කරු නීති සංශෝධනය කිරීමටත් වැඩබිම තුල ශ්‍රමික කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම ළමා ශ්‍රමය තුරන් කිරීමටත් අපි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඊට අමතරව පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය ආයතන 22000කට වැඩි සංඛ්‍යවකින් සේවක අර්ථසාධක අරමුදලට අයවිය යුතු විශාල මුදලක් තිබෙනවා. එය රුපියල් බිලියන 36ක් ලෙස ගණන් බලා තිබෙනවා. එම මුදල් අයකර ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුවට ලොකු වගකීමක් පැවරෙනවා. රජයක් ලෙස අපි එම කර්තව්‍ය සඳහා උපරිම සහාය ලබා දෙනවා. අභිනව කම්කරු කොමසාරිස් ජනරාල්තුමිය මේ සියලු වගකීම් ඉටු කරාවි කියලා අපි උදක්ම විශ්වාස කරනවා."
මෙම අවස්ථාව සඳහා කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස ඇතුලු කම්කරු අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් මෙන්ම නිලධාරීන් රැසක් එක්ව සිටියා.