ඡායාරූප මාධ්‍යවේදී කුමනන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සලසන්න- අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය

kumanan

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය(CTID)  විසින් ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලයි කුමනන්  'ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට' කැදවීම වහාම අත්හිටුවන ලෙසත්, මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සලසන ලෙසත් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් ඡායාරූප මාධ්‍යවේදී කුමනන් කනපතිපිල්ලයි “විමර්ශනයක්”  සඳහා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇති බවට පොලිස් නිවේදනයකින් හෙළි වී තිබේ. මෙම නියෝගය තුළින්, ඔහුට අගෝස්තු 17 වැනිදා මුලතිව්, අලම්පිල්හි පිහිටි ත්‍රස්ත විමර්ශන උප කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී ඇත. එහෙත්, මෙම කැඳවීම සම්බන්ධයෙන් කිසිදු විස්තරයක් හෝ වැඩිදුර තොරතුරක් ලබාදී නොමැතිව, අපැහැදිලි හා බලහත්කාරී ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව බැලූ බැල්මට දක්නට ලැබේ. මෙය මාධ්‍යවේදියෙකුට සම්බන්ධයෙන් සිදුකරන පීඩාකාරී ක්‍රියාමාර්ගයක් ලෙස අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) හඳුනාගනී.

අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA), ආණ්ඩුවට බරපතල ලෙස අවධාරණය කරන්නේ, මෙම කැඳවීමේ නියෝගය වහාම අත්හිටුවා, කනපතිපිල්ලයි කුමනන් ට එල්ල කරන පීඩාකාරී තත්ත්වය නවතාලිය යුතු බවයි. එසේම, මාධ්‍යවේදීන්ට බිය ගැන්වීමකින්, බාධා කිරීමකින් හෝ බලපෑමකින් තොරව ඔවුන්ගේ වෘත්තීය කටයුතු සිදුකිරීමට අවශ්‍ය නිදහස් හා ආරක්ෂිත පරිසරයක් සැලසීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය.

ත්‍රස්ත මර්දන ඒකකය වැනි ආයතනයක් යොදාගනිමින්, පොලිස් බලතල අයුතු ලෙස භාවිතා කිරීම මාධ්‍ය නිදහසට එල්ල කරන බරපතළ තර්ජනයක් ලෙස අපි හඳුනාගනිමු. දෙමළ ජනවාර්ගිකයකු වන කනපතිපිල්ලයි කුමනන්, යාපනයේ චෙම්මනී සමූහ මිනීවළ පිළිබඳ යාවත්කාලීන තොරතුරු සහ ඡායාරූප මාධ්‍යයට ලබාදෙමින්, මිනිස් අස්ථි 140කට අධික ප්‍රමාණයක් හමු වූ එම බරපතල අපරාධය වාර්තා කිරීමේ වැදගත් කාර්යභාරයක් ඉටුකරන ජනමාධ්‍යවේදීන් අතර ප්‍රමුඛ පෙළේ ඡායාරූප මාධ්‍යවේදියෙකි.

ඔහු, අතුරුදහන්වූවන්ට සත්‍යය හා යුක්තිය ඉල්ලා උතුරු පළාතේ සිදුකරන සාමකාමී මහජන විරෝධතා, දෙමළ ජනතාවට අයත් ඉඩම් නිදහස් කරගැනීමේ සාමකාමී ක්‍රියාමාර්ග, යුද්ධයෙන් පසු, උතුරේ මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීම සදහා වන ක්‍රියාකාරීත්වයන් ඇතුළු මහජන ව්‍යාපාර වාර්තා කිරීමේ කටයුතුවල නිරතව සිටී. මෙම ක්‍රියාකාරකම් තුළ ඔහුගේ මාධ්‍ය භූමිකාව ඉතා ඉහළින් ඇගයීමට ලක්විය යුතුය. මෙවැනි තත්ත්වයක් තුළ, ත්‍රස්ත මර්දන ඒකකය හරහා එවැනි ජනමාධ්‍යවේදියෙකු ඉලක්ක කරගනිමින් පීඩාකාරී ලෙස හැසිරීම බරපතළ තත්ත්වයකි.

එබැවින්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මෙම ක්‍රියාමාර්ග වහාම නවතා, දෙමළ ජනමාධ්‍යවේදීන් ඇතුළු සියලුම මාධ්‍යවේදීන්ට බියගැන්වීමකින්, බලපෑමකින් හෝ තර්ජනයකින් තොරව ඔවුන්ගේ වෘත්තීය කටයුතු නිදහසේ ඉටුකිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට කඩිනමින් පියවර ගත යුතුය.

මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුනකි. එය ආරක්ෂා කිරීම හා තහවුරු කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමකි. එබැවින්, මෙම තත්ත්වය වහාම නිවැරදි කර, මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ වෘත්තීය කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමත් ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමක් ලෙස  අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) ආණ්ඩුවට අවධාරණය කරමු.