වෘත්තීය සමිති ඒකාබද්ධ මැයි දින සැමරුම - 2025

වෘත්තීය සමිති ඒකාබද්ධ මැයි දින සැමරුම - 2025

ජාත්‍යන්තර හා ජාතික තලයේ ඇතිවෙමින් පවතින තත්ත්වයන් විසින් 2025 ජාත්‍යන්තර කම්කරු දිනය එක්ව සැමරීමට වඩ වඩාත් බල කෙරී ඇත.

ඇමෙරිකානු බදු, එක් අතකින් වෙළඳ යුද්ධයක් කරා ලෝකය ඇදගෙන යමින් සිටී. එසේම එම ප්‍රතිපත්තිය හේතුවෙන් ඇමරිකාව තුලම විශාල රැකියා කප්පාදුවක් ඇතිවීම හරහා විශාල සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් පවති. මේ හේතුවෙන් ලෝක ආර්ථිකය හැකිලීමට ඉඩක් ඇති අතර ලංකාවේ ප්‍රධානතම අපනයනය වන ඇඟළුම් ක්ෂේත්‍රයේ 40% ක වෙළඳපලට සිදුවන බලපෑම අභිබවා යමින් තේ, රබර්, මත්ස්‍යය නිශ්පාදන අපනයනයන්ටද විශාල ඍජු බලපෑමක් සිදූවිය හැක. එසේම මෙම තත්වය හරහා ඇති කරනු ලබන වක්‍ර බලපෑම ඊටත් වඩා වැඩිවිය හැක. මේ හේතුවෙන් නිශ්පාදන වියදම අවම කිරීමේ මුහුණුවරින් සූරාකෑම තීව්‍ර කිරීම හෝ මුළුමනින්ම නිශ්පාදනයෙන් ඉවත්වීම හරහා රැකියා කප්පාදුවට යෑමද සිදුවිය හැක.

මැද පෙරදිග, යුක්‍රේනය ඇතුලු ජන සංහාරක යුද්ධ දැනටමත් සමස්ත පෘථිවිය ලෝක යුද්ධයක් දක්වා ඇදගෙන යමින් පවතී. පළමු සහ දෙවන ලෝක යුද්ධ විසින් සිදුකල නිශ්පාදන බලවේගවල විනාශයට එහා යමින් මෙම යුධ ක්‍රියාවලිය සරණාගතයන් නම්වූ අලුත් පීඩිත ජන කොටසක් ලෝක ජනගහනයට එකතුකර ඇති අතර, න්‍යෂ්ටික අවි සමග සිදුකරන තුන්වන ලෝක යුද්ධයක් කිසිසේත්ම දරාගැනීමට පෘථිවි තලයට නොහැකිවනු ඇත.

කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත ජනතාවගේ ආශිර්වාදය මතින් බලයට පැමිණි වර්තමාන ආණ්ඩුව ෂඵත්‍ උගුලක සිරවී සිටී. ලංකාව මුහුණ දුන් ණය ආපසු ගෙවීමේ අර්බුදයට ණය ගැනීමේ ශක්‍යතාවය වර්ධනය කිරීම නැමැති වැරදි ඖෂධ වට්ටෝරුව යෝජනා කර ඇත. ඒ අනුව රාජ්‍ය ආදායම ඉලක්කගත වැඩි කිරීමකට යොමු කිරීම වෙනුවෙන් අධික බදු සහ රාජ්‍ය වියදම් අවම කිරීම හේතුවෙන් කම්කරු පංතිය සහ ලාංකීය ජනතාව ද්විත්ව ආර්ථික පීඩනයකට මුහුණ දී සිටී. මෙම තත්වය තුළ ජනතා අභිලාශයන් යටපත් කිරීම හේතුවෙන් අලුත් වටයක ආර්ථික පීඩනයකට කම්කරු ජනතාව ලක්කර ඇත. ඒ හරහා කම්කරු පංතිය සූරාකෑම තවත් තීව්‍ර කිරීමට මග පාදා ඇත.

මේ තත්වයන් දේශීය මෙන්ම විදේශීයව ද කම්කරු පංතිය එක මිටකට ගෙන ඒමේ අවශ්‍යතාවයන් නිර්මාණය කර ඇත. මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සැමරෙන්නේ එවැනි වටපිටාවකය.

එබැවින් බල දේශපාලනය වෙනුවට කම්කරු පංති දේශපාලනය යෝජනා කරන වෘත්තීය සමිති ලෙස එක්වී කරන ලද සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් ලෙස කම්කරු පංතියේ ඒකාබද්ධ මැයි රැළියක් පැවැත්වීමට තීරණය විය. ඒ සඳහා සහභාගීවීමට ඔබට කරන සහෝදරාත්මක ඇරයුමයි මේ.

වෘත්තීය සමිති වෙනුවෙන්,

රන්ජන් සේනානායක                                                 මංජුල ජයසුන්දර

ප්‍රධාන ලේකම්                                                           ප්‍රධාන ලේකම්

ලංකා බැංකු සේවක සංගමය                                        ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය        

ඇන්ටන් මාකස්                                                          ඩබ් ඒ ඩී විමලරත්න

සම ලේකම්                                                               සභාපති

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය               ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය                                                              

ජගත් ගුරුසිංහ                                                           චතුර සමරසිංහ

ප්‍රධාන ලේකම්                                                           ප්‍රධාන ලේකම්

එක්සත් කම්කරු සම්මේලනය                                      ලංකා වතු සේවා සංගමය

2024 අප්‍රේල් මස 22 දින