ගෘහ සේවය  විධිමත් කිරීමට පියවර ගන්නා බව කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි

mahinda-jayasinghe

ජාත්‍යන්තර ගෘහ සේවක දිනය වෙනුවෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙරට ගෘහ සේවය  විධිමත් කිරීමට පියවර ගන්නා බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම නිවේදනය පහතින් දැක්වේ.

ජාත්‍යන්තර ගෘහ සේවක දිනය අදයි - මෙරට ගෘහ සේවය  විධිමත් කිරීමට පියවර                                                           

ගෘහ සේවක සේවිකාවන්ගේ අමිල දායකත්වය ඇගයීමත්, ඔවුන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමත් පදනම් කර ගනිමින් සමරන ජාත්‍යන්තර ගෘහ සේවක දිනය අදට (16)  යෙදී ඇත.  

 ඒ 2011 වසරේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කරන ලද ගෘහ සේවකයින් පිළිබඳ සම්මුතිය  ( ILO Convention No -189) අනුවයි.

එම සම්මුතිය මගින් ගෘහ සේවය ද නිල වශයෙන් රැකියාවක්් ලෙස පිළිගෙන, ගෘහ සේවකයින්ට අනෙකුත් සේවකයින්ට හිමි මූලික අයිතිවාසිකම් සහ ආරක්ෂාව හිමි විය යුතු බව තහවුරු කර ඇත.

ලෝකය පුරා ලාංකේය ගෘහ සේවක සේවිකාවන් විසින් පවුල්, ප්‍රජාවන් සහ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරමින් ඇත.

දරුවන් සහ වැඩිහිටියන් රැක  බලා ගැනීම, නිවාස කළමනාකරණය සහ විවිධ සත්කාර සේවා සැපයීම තුළින් ඔවුන් ඉටු කරන මෙහෙවර නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට අධ්‍යාපනය, රැකියා සහ ආර්ථික කටයුතු සඳහා සක්‍රීයව දායක වීමට අවස්ථාව ලැබී තිබේ.         

මෙරට ගෘහ සේවයද පිළිගත් රැකියා ක්ෂේත්‍රයක් ලෙස නීතීගත කිරීමට අවශ්‍ය  මූලික කටයුතු වත්මන් රජය විසින් ආරම්භ කර ඇත.

නූතනත්වයට ගැලපෙන වැඩ පරිසරයක් මෙන්ම සේව්‍ය සේවක අයිතීන්  තහවුරු කෙරෙන කම්කරු අණපනත්   සංශෝධනය සඳහා මේ වනවිටත් කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතු විද්වත් කමිටුවක් පත් කර ඇත.   

ඒ අනුව මෙරට ගෘහ සේවයද විධිමත් කර සේවා නියුක්තිකයින්ට පුළුල් පරාසයක අයිතිවාසිකම් හිමිවන පරිදි අදාළ සංශෝධන ඇතුළත් කිරීමට නියමිතය.   

අනතුරුව ඊට අදාළ අංක 189 දරන ජාත්‍යන්තර කම්කරු සම්මුතියට අත්සන් තබා එය ශ්‍රී ලංකාව තුළ අපරානුමත කිරීම රජයේ අපේක්ෂාවයි.  

සියලු ගෘහ සේවක සේවිකාවන්ට සාධාරණ සැලකීම, යහපත් සේවා කොන්දේසි, සමාජ ආරක්ෂණය, වෘත්තීය සුරක්ෂිතභාවය සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමේ වැදගත්කම  යළි අවධාරණය කරමු.    

 ඒ අනුව වෙනස්කොට සැළකීම, සූරාකෑම් සහ හිංසනයන්ගෙන් තොර සේවා පරිසරයක් ගොඩනැගීම ඒ මගින් තහවුරු වනු ඇති.

මෙම ජාත්‍යන්තර ගෘහ සේවක දිනයේදී, ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි සේවය කරන සියලු ගෘහ සේවක සේවිකාවන් වෙත අපගේ ගෞරවය සහ කෘතඥතාව පුද කර සිටින්නෙමු.

“සෑම ගෘහ සේවකයෙකුටම ගෞරවය, ආරක්ෂාව සහ යහපත් රැකියාවක්.“ යන තේමාව යටතේ  අප සියලු දෙනා එක්ව ඔවුන්ගේ ගෞරවය, අයිතිවාසිකම් සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා කැපවෙමු.