කම්කරු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය කම්කරු අමාත්‍ය ආචාය– අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (16) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
එහිදී ක්ෂේත්‍ර 05ක් ඔස්සේ සිංහල,දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව නිම කළ 450 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදානය කෙරිණි.
මෙරට ශ්‍රම බලකායේ සහ සේවායෝජකයින්ගේ දැනුම, කුසලතා මෙන්ම වෘත්තීය නිපුණතා සංවර්ධනය කිරීමේ අරමුණින් අදාළ පාඨමාලා නිර්මාණය කර ඇත.
උත්සව අවස්ථාව අමතමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ වර්තමානයේ රටට අවශ්‍ය වන්නේ මානව සම්පත ඵලදායි ලෙස කළමනාකරණය කරමින් කාර්මික සබඳතා සහ යහපත් සේවා ස්ථානයක් නිර්මාණය කළ හැකි වෘත්තිකයින් බවයි.
එමෙන්ම සාර්ථකත්වය යනු හුදෙක් ප්‍රතිපත්ති හෝ ක්‍රියාපටිපාටි අනුගමනය කිරීම පමණක් නොව අන්‍යෝන්‍ය අවබෝධය,කණ්ඩායම් හැඟීම , දිරිගැන්වීම, සහ ඵලදායි වැඩ පරිසරයක් නිර්මාණය කර නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම බවයි.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා..
“ ශ්‍රී ලංකාවේ අනාගත ශ්‍රම බලකායේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඵලදායීතාවය සහ සේවක සුබසාධනය අතර සමතුලිතතාවයක් පවත්වාගෙන යා හැකි දක්ෂ වෘත්තිකයන් මතයි. ඔබ නැවත ඔබගේ සේවා ස්ථාන වෙත යන විට, ඔබ ඉගෙනගත් දේ විශ්වාසයෙන්, අවංකභාවයෙන් සහ වෘත්තීයභාවයෙන් යුතුව ක්‍රියාවට නංවන ලෙස මා ඔබව දිරිමත් කරනවා. සියලු සේවකයින්ට සාධාරණ, ගෞරවනීය, නව්‍ය හා සහයෝගාත්මක සේවා ස්ථාන ගොඩනැගීම සඳහා ඔබගේ කුසලතා භාවිත කරන්න.“
“ජාතික කම්කරු අධ්‍යයන ආයතනය ඔබට ශක්තිමත් පදනමක් සපයා තිබෙනවා. එහෙත් ඉගෙනීම යනු ජීවිත කාලය පුරාම පවතින ගමනකි. එබැවින් ඔබගේ දැනුම තවදුරටත් වර්ධනය කර ගනිමින්, නව අදහස් වැළඳ ගනිමින් සහ වෘත්තීය විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්න.“
මෙම අවස්ථාව සඳහා කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස , කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ,ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය උත්පලා අලහකෝන් ආදී මහත්ම මහත්මීන් මෙන්ම ඩිප්ලෝමාලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

