රාජ්‍ය සේවයට අලුතින් 2400ක් -තවත් 30,000ට අවස්ථාවක්

රාජ්‍ය සේවයට අලුතින් 2400ක් -තවත් 30,000ට අවස්ථාවක්
බහුකාර්ය සංවර්ධන කාර්යසාධක දෙපාර්තමේන්තුවේ පුහුණුව ලත් බහුකාර්ය සංවර්ධන සහායකයන් 2,400කට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහායයන් ලෙස පත්වීම් ලිපි ප්‍රදානය කර තිබේ.
 
මෙහිදී පත් වීම් ලාභීන් අමතමින් අගමැතිවරයා බහුකාර්ය සංවර්ධන කාර්යසාධක දෙපාර්තමේන්තුවට අන්තර්ගතව සිටින 30,000ක පමණ තරුණ පිරිසකට විවිධ සේවා ස්ථානවල රැකියා අවස්ථාවට පිවිසීමට හැකි තීරණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ කර්තව්‍යය ඉටු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වගකීම භාර ගන්නා බවත් මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසා ඇත.
 
 
මෙහිදී අදහස් පළ කළ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස කියා සිටියේය.
 
“යටත්විජිත යුගයේ ඇරඹුණු මෙරට දුම්රිය සේවයේ මානව සම්පත ඉටු කරන්නේ ඉතා වැදගත් මෙහෙවරක්‌. දුම්රිය කාර්ය සහායක ශ්‍රේණියේ නිලධාරීන් හටත් එහි විශාල වගකීමක් පැවරෙනවා. රටේ පවතින තත්ත්වය යටතේ රාජ්‍ය සේවය උදෙසා අලුතින් බඳවාගැනීම් නවතා තිබෙන මොහොතක වුවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුම්වත් කර, රජයේ බහුකාර්ය සංවර්ධන බළකායේ පුහුණුව ලැබූ 2,400ක් සඳහා ස්ථිර පත්වීම් පිරිනමා දුම්රිය සේවයට එක් කරගැනීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක්‌. සුවිශාල ජාතික සේවයක වගකීමට උර දෙන දුම්රිය සේවයට එක් වීමට ලැබීම ඔබ ලැබූ භාග්‍යයක්. අලුත් අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් සහිතව රටට සේවය කිරීමට අවස්ථාවක්‌ මෙන්ම කැප වීම, උනන්දුව හා උත්සාහය මත උසස්වීම් සහිත ස්ථාවරත්වයට ළඟා වීමේ අවස්ථාවද ඔබ‍ට හිමි වනවා. රැකියාව තුළ කුමන වෘත්තීය ගැටලු මතු වුවත් සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, ශිෂ්ට සම්පන්න ලෙස ඒ ගැටලු විසඳාගැනීමේ වගකීම ඔබ‍ට පැවරෙනවා. ඒ සඳහා උපකාර කිරීමට විෂය භාර ඇමැති ලෙස මමත්, දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු පරිපාලනයත් ඕනෑම අවස්ථාවක සැදී පැහැදී සිටිනවා.“
 

බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බළකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් (විශ්‍රාමික මේජර් ජෙනරාල්) නන්ද මල්ලවආරච්චි, දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා ඇතුළු නිලධාරීන්, පත්වීම්ලාභි දුම්රිය කාර්ය සහායක නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.