අර්ථසාධකයේ 30% ගැනීම පහසු කරන්න  පනත සංශෝධනය කරනවා.

අර්ථසාධකයේ 30% ගැනීම පහසු කරන්න  පනත සංශෝධනය කරනවා.

සේවක අර්ථසාධක අරමුදලෙන් 30% ක් එම අර්ථසාධක හිමිකරුවන්ට තමන්ගේ  අවශ්‍යතාවයන්ට අනුව   ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින්  සේවක අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය (21) දින පැවති  කම්කරු උපදේශක සභා මාසික රැස්වීමේදී ය.

මෙතෙක් අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට එම 30% අරමුදල්  නිදහස් කළේ නිවාස ඉදිකිරීම හෝ ඒ සම්බන්ධ කාරණයක් හෝ රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීම යන කාරණා  සඳහා පමණි. ඒ සඳහා අයදුම්කරුවන් ඒ වෙනුවෙන් විශේෂ ලේඛන රාශියක් ඉදිරිපත් කිරීමට තිබූ රෙගුලාසි හේතුවෙන්  විවිධ දූෂණ, අක්‍රමිකතා සහ වංචනික ක්‍රියා සිදු වන බවට  තොරතුරු ලැබී තිබුණි.එම කරුණු සලකා සහ එම විශේෂ ලිපි ලේඛන සකස් කිරීමට අයදුම්කරුට විශාල මුදලක් වැය වන බවට ලැබී තිබූ පැමිණීිලි සලකා බලා  එම අනවශ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින්  මෙම සංශෝධන ගෙන එන බව අමාත්‍යවරයා  මෙහි දී පැවසීය. ඒ අනුව  ඉදිරියේ දි සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තම ඕනෑම  අවශ්‍යතාවයක්  සඳහා සේවක අර්ථසාධක අරමුදලේ තම අරමුදල්වලින් 30% ඉතා පහසුවෙන් ලබා ගත හැකිවනු ඇතැයි  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව වසර දහයක් අඛණ්ඩව සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් බැර වූ රුපියල් ලක්ෂ තුනකට වඩා වැඩි ශේෂයක්  තමා ගිණුමේ ඇති සාමාජිකයන්ට මෙම  30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම පනත් සංශෝධනයට ඇතුළත් කළ යුතු තවත් යෝජනා ඇත්නම් එම යෝජනා ඉදිරිපත් කරන ලෙස  ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති නියෝජිත   වෘත්තීය සමිති නායකයන් ගෙන් අමාත්‍යවරයා මෙහි දී  ඉල්ලා සිටියේය.

මෙම පනත් සංශෝධනයෙන් පසුව  තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, දරුවන්ගේ විවාහ කටයුතු, නිවාස අලුත්වැඩියා කටයුතු, වාහන මිලදී ගැනීම් වැනි කටයුතු  සඳහා ද සේවක අර්ථසාධක අරමුදල 30% පූර්ව ප්‍රතිලාභය ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන බව කම්කරු  දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගෙන එන මෙම නව සංශෝධන තුළින් අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට මෙතෙක් කලක් පැවති බරපතල ගැටලුවක් විසඳෙන බවත්,මෙම පනත් සංශෝධනය තුළින් ලබාදෙන ප්‍රතිලාභ ලබා ගැනීමේ පහසුව  අරමුදලේ සාමාජිකයන්ට ඉමහත් සහනයක් වන බව  වෘත්තීය සමිති නායකයෝ සහ සේව්‍ය පක්ෂයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

ජාතික කම්කරු උපදේශක සභා මෙවර රැස්වීමට කම්කරු අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා, කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, ලෙස්ලි දේවේන්ද්‍ර, සිල්වෙස්ටර්  ජයකොඩි, ඇන්ටන් මාකස්, ස්වස්තිකා අරුනලිංගම් මෙනවිය ඇතුළු  වෘත්තීය සමිති නියෝජිතයන්ද යොහාන් ලෝරන්ස්, ධම්මික ප්‍රනාන්දු ඇතුළු  සේව්‍ය සම්මේලනයේ නියෝජිතයෝ ද   සහභාගි වූහ.

nlac 21 02 2022 2